ඔස්කාර් සම්මාන උළෙල 2017



ඔස්කාර් (ඇකඩමි) සම්මාන උළෙල,ලොව පුරා කලින් කලට පවත්වනු ලබන සිනමා සම්මාන උත්සවයන්හි තිඹිරිගෙයයි. හොලිවුඩ් සිනමාවේ මුදුන් මල්කඩ වන් වූ ඔස්කාර් සම්මාන උළෙල, පසුගිය පෙබරවාරි 26 වෙනි දා හොලිවුඩ් ඩොල්බි තියටර් හිදී පැවැත්වුනේ 89 වෙනි වරටයි.


මෙවර තරඟකාරී අංශයේ සම්මාන 24 ක් සහ ගෞරව සම්මාන 4 ක්  පිරිනැමුණු අතර ඉන් එක් සම්මානයක් පිරිනැමුනේ ජනප්‍රිය ආසියානු මාෂල් ආට් නළු ජැකී චෑන් හොලිවුඩය වෙනුවෙන් ඉටු කරන ලද කැපකිරීම වෙනුවෙනි.

                                                                     ජැකී චෑන්/oscar.com


ඩේමියන් චසෑල් අධ්‍යක්ෂණය කරන ලද “ලා ලා ලෑන්ඩ් “චිත්‍රපටය,සම්මාන 17 ක් වෙනුවෙන් නිර්දේශ වී
මීට පෙර “ටයිටැනික් “ චිත්‍රපටය විසින් තබා තිබූ වාර්තාව සම කරනු ලැබීමද මෙවර ඔස්කාර් උළෙලේ කැපී පෙනුනු තවත් විශේෂත්වයකි.

ඔස්කාර් සම්මාන උළෙලේ වඩාත්ම ආකර්ශනය හිමිවන “හොඳම චිත්‍රපටය“ සම්මානය වෙනුවෙන් බැරී ජෙන්කින්ස් අධ්‍යක්ෂණය කරනු ලැබූ “මූන්ලයිට්“ සම්මාන ලබද්දී හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය හිමි කරගන්නට තරුණ සිනමාකරුවෙක් වන ඩේමියන් චසෑල් සමත් වුනේ “ලා ලා ලෑන්ඩ්“ හි
අපූර්ව නිර්මාණශීලීත්වය වෙනුවෙනි.

                                            හොඳම අධ්‍යක්ෂණය ඩේමියන් චසෑල් (ලා ලා ලෑන්ඩ්)/oscar.com

ප්‍රේක්ෂක හා විචාරක නොමඳ අවධානයට ලක් වන “හොඳම නළුවා“ සම්මානය දිනා ගනු ලැබුවේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් මෙන්ම ඔස්කාර් සම්මානලාභී සිනමාකරුවෙක් වන බෙන් ඇෆ්ලෙක්ගේ බාල සොයුරු “කැසී ඇෆ්ලෙක්“විසිනි. ඒ “මැන්චෙස්ටර් බයි ද සී“ චිත්‍රපටයේ ඔහු නිරත වූ විශිෂ්ඨ රංගනය වෙනුවෙනි.

                                           හොදම නළුවා කැසී ඇෆ්ලෙක් (මැන්චෙස්ටර් බයි ද සී)/oscar.com

“හොඳම නිළිය“උදෙසා වූ සම්මානය “එමා ස්ටෝන්“ තමන් සතු කරගත්තේ ඔස්කාර් ඉතිහාසයේ 18 වතාවක්
හොඳම නිළිය සම්මානයට නිර්දේශ වී දෙවරක් සම්මානය ජයග්‍රහණය කළ මෙරිල් ස්ට්‍රීප් වැනි පරිණත නිළියන් පවා අභිබවා යමිනි. ඒ ලා ලා ලෑන්ඩ් චිත්‍රපටයේ ඇයගේ විශිෂ්ඨ රංගනය වෙනුවෙනි.

                                           හොඳම නිළිය එමා ස්ටෝන් (ලා ලා ලෑන්ඩ්)/oscar.com

හොඳම සහාය නළුවා සහ හොඳම සහාය නිළිය සම්මාන පිළිවෙලින් “මූන්ලයිට්"හි රංගනය “මහේෂාලා අලි" හා “ෆෙන්සස්" හි රංගනය වෙනුවෙන් “වයෝලා ඩේවිස්" හිමි කර ගනු ලැබුවේ නව ඔස්කාර් වාර්තාවක්ද පිහිටුවමිනි. ඒ ඔස්කාර් සහාය රංගනයන් සඳහා වූ සම්මානයන් ද්විත්වයම එකම සම්මාන උළෙලකදී කළු ජාතික නළු-නිළි යුවළක් ජයග්‍රහණය කරනු ලැබුවේ ඉතිහාසයේ ප්‍රථම වරට වීමය.

ඔස්කාර් සම්මාන උළෙලේ එකම ජාත්‍යන්තර සම්මානය වන “හොඳම විදෙස් භාෂා චිත්‍රපටය“ ට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඉරාන ජාතික සිනමාකරුවෙකු වූ “අස්ගර් ෆර්හාඩි“ගේ නිර්මාණයක් වූ “ද සේල්ස්මන්“ චිත්‍රපටියයි. ෆර්හාඩිගේම නිර්මාණයක් වූ “ අ සෙපරේෂන් “ චිත්‍රපටියද මීට පෙර මෙම සම්මානයට හිමිකම් ලැබූ උසස් ඉරාන සිනමාකෘතියකි.

“හොඳම සජීවිකරණ චිත්‍රපටය“වූයේ ළමා-වැඩිහිටි බේදයකින් තොරව රසික හදවත් දිනූ “සූටොපියා“ චිත්‍රපටයයි.

මෙවර සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනක් දිනූ “ලා ලා ලෑන්ඩ්“ චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂණය හා හොඳම නිළිය සම්මානයන් හැරුණු විට “හොඳම සංගීත නිර්මාණය,හොඳම ගීතය, හොඳම නිෂ්පාදන සැලසුම්කරණය හා හොඳම සිනමාරූපණය“යන සම්මානයන්ද තම සම්මාන එකතුවට එක් කරගන්නට සමත් වෙද්දී මූන්ලයිට් චිත්‍රපටය සම්මාන 3 කින්ද හැක්සෝ රිජ්,මැන්චෙස්ටර් බයි ද සී චිත්‍රපට සම්මාන 2 බැගින් හිමිකරගෙන තම සම්මාන එකතුව හැඩ කරගන්නා අයුරු දක්නට ලැබිණි.

                                                 මූන්ලයිට් චිත්‍රපටයේ කණ්ඩායම/oscar.com

ලොවපුරා නිර්මාණකරුවන්ගේ,විචාරකයින්ගේ සහ රසිකයන්ගේ දහසක් අපේක්ෂා මල්ඵල ගන්වමින්ද,සුණුවිසුණු කරමින්ද 89 වෙනි ඔස්කාර් සම්මාන උළෙල නිමා වූයේ ජය පැරදුම,දුක සතුට, සිනහව කඳුළ අතර තවත් බොහෝ සොඳුරු දෑ තිබිය හැකි බව සිනමා ලොවටම පසක් කරමිනි.





නිරෝෂ් ගුණසේකර

0 comments:

Post a Comment