ජීවත්වීමට අයිතිය ඉල්ලා සිටින මිනිසුන් අතරේ මරණයට ඇති අයිතිය ඉල්ලා සිටින්නන්....




කලකට ඉහත දී ලොවක් මවිත කළ හෙතෙම කඩවසම් දක්ෂ මැජික් ශිල්පියෙකි. නමුත් දැන් ඔහු තම සිතැඟි කිසිවක් කර ගත නොහැකි අවම වශයෙන් තමාගේ ශරීර කෘත්‍යයන් සිදුවන ආකාරය පිළිබඳවත් නොදන්නා අංශභාග රෝගියකි. වසර 13ක් යනතුරැම භාහිර ලෝකයෙන් වෙන් වු ඔහු යදම්වලින් නොබැඳි සිරකරැවෙකි. නමුත් වසර දහතුනකට පසුව, පළමු වරට, එක්තරා දිනක දී ඔහු ඔහුගේ ප්‍රියතම ඇදුමින් සැරසී ලෝකයා වෙත පිවිසේ. ඒ අන් කිසිවක් සඳහා නොව දෙවියන් විසින් මෙතෙක් කල් ඔහු වෙත ළගා කර නොදුන් මරණය අධිකරණයෙන් ඉල්ලා සිටීම සඳහා ය.



ඔබ චිත්‍රපට නැරඹීම ප්‍රිය කරන්නෙක් නම් මේ පුංචි කතාව කියවන විට ඔබේ මතකයට නැගෙනුයේ රිතික් රෝෂන් සහ අයිශර්‍යා රායි ප්‍රධාන චරිතයන් නිරෑපණය කරන  “Gujarish” චිත්‍රපටය යි. මෙවර ලිපියෙන් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සැබවින්ම එම චිත්‍රපටය පිළිබද ගුණ දොස් විචාරයක් නම් නොවේ. ඒ වෙනුවට මෙම විත්‍රපටය පදනම් වූ නීති විද්‍යාව තුළ තවමත් විවාදිත “යුතනේසියාව“ පිළිබඳව යි.


අපේ රටට තවමත් ආධුනික සහ සාමාන්‍ය ජන සමාජයේ කතා බහ නොකෙරෙන නමුත් නීති විද්‍යා ක්ෂේත්‍රය තුළ දැඩි මතභේදාත්මක මාතෘකාවක් විදියට මේ “යුතනේසියා‘ පිළිබඳ නීති තත්වය දැක්විය හැකිය.


 ‘යුතනේසියා‘ (Euthanasia) මෙය ග්‍රීක වචනයක් වන (euthanatos) යන්නෙන් බිඳී ආවකි. මෙහි අදහස නම් “පහසු මරණය“ (Easy Death) ‘අනුකම්පා සහගත මරණය‘(mercy death) ‘සුඛ මරණය‘ යන්නයි.






 යුතනේසියාව යනු මාරාන්තික රෝගයකින් පෙළෙන අයෙකුට නැතහොත් තමාට මෙලොව ජීවත් වීමට වන අවසන් බලාපොරොත්තුව ද ගිලිහී ඇති අයෙකු නම් එම තැනැත්තා තවදුරටත් දුක් විඳීම දරා සිටිය නොහැකිවන විට ඔහුගේ/ඇයගේ දුක් විඳීම කෙළවර කිරීමේ අරමුණ ඇතිව වෛද්‍යවරයෙකු විසින් රෝගියාගේ ජීවිතය අවසන් කිරීමයි.



මෙය වඩාත්ම සරලම ආකාරයෙන් කියනවනම් ඔබේ වයසක අත්තම්මා කෙනෙක් හෝ සීයා කෙනෙක් දැඩි ලෙස රෝගී වී දීර්ඝ කාලයක් දුක් විඳිමින් තමාගේ කිසිදු කාර්තව්‍යක් කර ගත නොහැකිව එක්තැන්ව ඔත්පලව සිටිනවිට ඔබේම අම්මා හෝ තාත්තා කියනවා අසා ඇති “අනේ අපේ අම්මා/තාත්තා මෙහෙම දුක් විදිනවා බලන් ඉන්න බෑ මට“..... එහෙම නැත්නම එසේ එක්තැන් වුවන් දෙස බලා කියන වදන් පෙළක් ලෙස ‘මෙහෙම දුක් විඳ විඳ ඉන්නවට වඩා මැරිලා යන එක හොදයි“ කියලා කියනවා අසා ඇති ඔබ... එසේත් නැතිනම් රාත්‍රියේ නින්දෙන්ම මිය ගිය අයෙකු පිළිබඳව කතා වෙද්දි මිනිසුන් කියන්නේ ‘අනේ.. දුකක් විඳින්නැතුවම මැරිලා ගියා.. වාසනාවන්ත මරණයක්, අපිත් එහෙම මැරෙනවනම් හොඳයි“....
යුතනේසියාවෙන් අපේක්ෂා කරනුයේ ද මෙවැන්නකි. එනම් මරණයටද පත් නොවී මරණය පෙනී පෙනී දුක් විඳින මිනිසුන් වෙනුවෙන් මරණය ලබා දීමයි. නමුත් අවධානය කළ යුතුම කරැණ නම් මෙය සියදිවි නසා ගැනීමක් වෙන් කොට හඳුනාගත යුතු වීමයි. එනම් ඉඩම් ආරාවුලක් මත හෝ තම පෙම්වතා/ පෙම්වතිය තමාව හැර දමා යාම ජිවිතය පිළබඳ සියලු බලාපොරොත්තු නැතිකරවන ආකාරයේ මාරාන්තික තත්වයක් නොවන බවයි.


යුතනේසියාව අප රටට සහ නීති ක්‍රමයට ආගන්තුක සංකල්පයක් වූවත් ස්විස්ටර්ලන්තිය වැනි රටවල මේ පිළිබඳ නීතිය වර්ධනය වනුයේ 1930 පමණ කාලයේ දීය. යුතනේසියාව ප්‍රධාන වශයෙන් කාණ්ඩ කිහිපයකට වෙන් කරයි. ඉන් ප්‍රධාන වර්ගීකරණය ලෙස,

a)යුතනේසියාව                         a) Active Euthanasia
b) සහායක යුතනේසියාව (Assisted dying) b) Passive Euthanasia


දැනට බොහෝමයක් රාජ්‍යයන් තුළ ඉඩ ලබා දෙනුයේ Assisted dying සඳහාය. එයිනුත් බොහෝමයක් රටවල් තුළ පිළිගනුයේ මාරාන්තික රෝගි අවස්ථාවක දී පමණක් වන සහායක යුතනේසියාව පමණි.
 Assisted dyingහි දී සිදුවනුයේ මාරාන්තික රෝගයකින් පෙළෙන අයෙකුගේ ශාරිරික වේදනාවන් නැති කිරීමේ අරමුණ සහිතව වෛද්‍යවරයා විසින් මාරාන්තික ඖෂධයක් හෝ එන්නතක් නියම කිරීම (Prescibe) පමණි.






 යුතනේසියාව පිළිබඳව ලොව රටවල නීති තත්වයන් විමසීමේ දී නෙදර්ලන්තය ඉහළින්ම සිටිනුයේ කරැණු කිහිපයක් මුල් කරගනිමිනි. එක් අතකින් යුතනේසියාව, නීතිය මඟින් පිළිගත් පළමු රට මෙය වේ. (2002)  එසේම එරට නීතිය දක්වන පරිදි මාරාන්තික රෝගයක් නිසා දුක් විදින අයෙකු වීම යුතනේසියාව ඉල්ලා සිටීමට අත්‍යවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙසට යමෙකුගේ ආත්ම ගරැත්වය නැතිවීම හෝ විදවීමට වන අධික බිය පවා යුතනේසියාව ඉල්ලා සිටීමට හේතුවකි. එසේම එරට නීතිය යටතේ වයස අවු.12 හෝ ඊට වඩා වැඩි පිරිස් සදහා මෙය ඉල්ලා සිටිය හැකි බව දක්වයි.


බෙල්ජියානු නීති තත්වය ද මීට සමාන වන අතර දැරිය නොහැකි කායික පීඩාවන්ට අමතරව මානසික වේදනාවන් මත ද යුතනේසියාව සඳහා අයදුම් කළ හැකිය.


ලක්සම්බර්ග් හි දී 2009 වසරේ සිට යුතනේසියාව පිළිගන්නා අතර රෝගියාගේ අදාළ ඉල්ලීම වෙනස් වෛද්‍යවරැන් දෙදෙනෙකු විසින් සලකා බැලිය යුතු අතර තවත් විශේෂිත කණ්ඩායමක් විසින්ද රෝගියා එම තීරණයට පැමිණීමේ තර්කානුකුලභාවය විමසා බලා අනුමැතිය ලබා දීම තීරණය කරයි.


ඉහත රාජ්‍යයන් හැරැණු විට දී අනෙක් රාජ්‍යයන් හරහා පිළිගනු ලබනුයේ Assisted dying ය. ස්විස්ටර්ලන්තය, ජර්මනිය (රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීමට වන අයිතිය ද පිළිගනී) ඇමරිකා එක්සත් ජනපදය තුළ දැනට ප්‍රාන්ත 06ක පිළිගෙන ඇති අතර   අලුතින්ම එක් වු ප්‍රාන්තය වුයේ කැලිෆෝනියාවයි. කැනඩාවේ ද බ්‍රිතාන්‍ය කොළොම්බියා ප්‍රාන්තය   තුළ හා 2016 වසරේ දී ක්වීබෙක් ප්‍රාන්තය තුළ මෙය පිළිගනී.


සමස්තයක් ලෙස ලොව බහුතරයක් රටවල් විශේෂයන්ම දේවාගමික  රාජ්‍යයන්  මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන අතර එය දෙවියන්ට එරෙහිව සිදු කරන පාපයක් ලෙසට සලකයි. නමුත් ප්‍රායෝගිකත්වය විමසීමේ දී පෙනී යන කරැණ වනුයේ ඇතැම් පිරිස් යුතනේසියාව සඳහා ඉල්ලුම් කිරීමට තම මව් රට පවා හැර ගොස් යුතනේසියාව පිළිගනු ලබන ස්විස්ටර්ලන්තය වැනි රටවලට තම මරණයේ අයිතිය ලබා ගැනීමට සංක්‍රමණය වීමයි.


කෙසේ වෙතත් හින්දු ආගම තුළ පිළිගන්නා පරිදි මාරාන්තික රෝගවලින් පෙලෙන්නන් හට නැතහොත් ජීවිතය පිළිබඳව කිසිදු අපේක්ෂාවක් නැති , ඉෂ්ට කරගත යුතු අරමුණක් නොමැති ඉටු කිරීමට කිසිදු වගකීමක් නොමැති අයෙකුට මරණය තෝරා ගත හැකි බවයි. මීට සමාන අදහසක් ජෛන ආගම තුලද දැකිය හැකිය.
 කෙසේ වෙතත් යුතනේසියාව පිළිබඳ අධික විවේචන සංඛ්‍යාවක් සේම පක්ෂව ඉදිරිපත් කෙරෙන මතවාදයන් ද බහුලය.





මානව ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් දැඩි මතයක සිටී. එනම් ජීවත්වීමට වන අයිතිය යන්න නිසඟයෙන් හිමිවන අන් සතු කල නොහැකි ස්වභාවික අයිතියකි. නමුත් මරණය සඳහා අයිතිය ඉල්ලා සිටීම අස්වාභික හා ජීවත් වීමේ අයිතිය ද අරැත් සුන් කරන්නක් ලෙස දක්වයි.


විශේෂයෙන්ම සුවපත්කරන්නෙකු ලෙස වෛද්‍යවරයාට හිමිවන වටිනාකම මේ නිසා ගිළිහි යන බවට දක්වයි.. නීතිය තුල පිළිගන්නා පරිදි වෛද්‍යවරයා සහ රෝගියා තුළ ඇත්තේ අන්‍යොන්‍ය විශ්වාසනීයත්වය මත පදනම් වු බැදීමක් හා වගකීමකි. එවැන්නක් තුළ වෛද්‍යවරයා තම රෝගියා මරා දැමීමට සහාය වන්නේ කෙසේද යන්න ප්‍රශ්නගත කරයි. එය විශ්වසනීය සබඳතාවය උල්ලංඝණය කිරීමකි. එසේම එය වෛද්‍යවරැන්ගේ පරම පොරොන්දුව වන හිපොක්‍රටික් පොරොන්දුවට පටහැනි වුවක් ලෙසට සලකයි. එනම් කෙසේ හෝ කැපවී රෝගියාගේ ජිවිතය බේරාගැනීමට පොරොන්දු වෙමි යන්නයි.


නමුත් වෛද්‍යවරයා යනු කිසිලෙසකින්වත් සර්ව බලධාරි දෙවියෙකු නොවේ. නුතන වෛද්‍ය විද්‍යාවට පවා සුවකළ නොහැකි රෝග කොතරම් තිබේද? එසේ ප්‍රතිකර්මයක් නොමැතිව දුක් විඳිමින් කිසිත් බලාපොරොත්තුවක් නොමැතිව අයෙකුට ජීවත්වීමට ඉඩ හැරීම යුක්ති යුක්තද?


නුතනයේ පිළිගනු ලබන පරිදි පුද්ගලයෙකුට ජීවත් වීමේ අයිතිය පමණක් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය අරැත්බර ලෙස ගෙන යාමට අවැසි අනෙකුත් සියලු අයිතීන් ද සම්පුර්ණ වියයුතුය. නමුත් එකී අයිතීන් භුක්ති විදීමට හැකියාවක් නොමැති නම් හිමි වු එම ජීවත්වීමේ අයිතියේ ඵලය කුමක්ද?


අනෙක් අතින් මෙය නීතියක් පැනවීම මඟින් පාලනය කිරීම අපහසු වුවකි. එනම් කලු සුදු නීතියේ මුලික කාර්යය වනුයේ කළ යුත්ත දක්වමින් හා නොකළ යුත්තට සීමාවන් හා දඬුවම් පමුණවමින් මිනිසාගේ භාහිර හැසිරීම පාලනය යි. නමුත් මෙවැන්නක් මිනිසෙතුගේ අභ්‍යන්තර චිත්ත සන්තානය පවා විනිවිද යන්නකි.
තම සිරැර සෙලවීම හෝ කිසිවක් කළ නොහැකි රෝගියෙකු වැසි වේලාවක වහලයේ කඩතොලුවකින් තම මුහුණ මතට වැටෙන දිය බින්දු මඟ හැරීමට නොහැකි වන තරමට සුළු දෙයක් හමුවේ වුවද තරඟ කිරීමට අවස්ථාවක් නොලබාම පරාජය භාර ගැනීමට සිදුවීම ඔහුට කෙතරම්නම් මානසික බලපෑමක් කරනු ඇතිද?? මෙවැනි අවස්ථාවකට ඔබ මුහුණ දුන්නේනම් කුමක් දැනේද??


මිනිසත් බව දුර්ලබය. එය සැබෑය. නමුත්  එය අරත්බර ලෙස ගත කිරීමට අවශ්‍යතාවය පැවතියත් අවස්ථාවක් ‍නොමැතිනම්   කුමක් කළ යුතුද? මිනිසෙකු වේවා තිරිසන් සතෙකු වේවා තම ජීවිතයට තිබෙන ආශාව එක හා සමානය. සියදිවි නසා ගැනීමට යන්නවුන් පවා තමා හුස්ම හිරවෙන විට නැවත ජීවිත ආශාවෙන් දඟලා මියයයි. නමුත් කිසිවක් කර කියා ගත නොහැකි තම ඥාතීන් හිත මිතුරන් හමුවේද අසරණව සිටින තම ජිවිතයේ වන අරැත්සුන්බව වටහාගත අයෙකු, අවස්ථාවෝචිතව වඩාත් යහපත් මරණය වෙනුවෙන් කරන ඉල්ලීමක් දෙවියන්ට එරෙහිව කරනු පාපී ඉල්ලීමක් නොවිය ද හැකිය. ඇතැම් විට එය දෙවියන් වෙසෙන ස්වර්ගය කරා යාමට කරන ඉල්ලීමක් ද විය හැකිය. ඔබත් මොහොතක් සිතා බලන්න...






පමෝදා මධුෂානි 
නීතිවේදී උපාධිධාරිනී 
කොළඹ විශ්ව විද්‍යාලය

0 comments:

Post a Comment