ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල

බොලිවුඩය.. නැතහොත් හින්දි සිනමාව අද වන විට ලෝකයේ බොහෝ කතාබහට ලක්වෙන එමෙන්ම බොහෝ නව්‍යකරණයන්ට ලක් වෙමින් හොලිවුඩය හා කරට කර ගමන් කරනා ලොව ප්‍රධානතම සිනමා ක්ෂේත්‍රයක් ලෙස අපට දක්වන්නට පුලුවන.එකී හින්දි සිනමාවේ ප්‍රධානතම ඇගයීමේ උළෙල නැතහොත් සම්මාන උළෙල කුමක්දැයි ඇසුවහොත් අනිවාර්‍යෙන්ම බොලිවුඩයට ආදරය කරන්නන්ගේ මුවගට නැගෙන පලමු පිලිතුර වන්නේ " ෆිල්ම්ෆෙයාර්"යන්නයි.නිවැරදිය.





බොහෝ බොලිවුඩ් සිනමාකරුවන්ගේ සිහිනයන් අතර ඉහලින්ම  ෆිල්ම්ෆෙයාර් සම්මානය සඳහන් වන්නේද එබැවිනි.හොලිවුඩයට ඔස්කා සම්මාන සේ බොලිවුඩයට ඇත්තේ ෆිල්ම්ෆෙයාර් සම්මානය.සති කිහිපයකට පෙර අවසන් වූ 2017 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රිය හා බැඳෙමින් ෆිල්ම්ෆෙයාර් ඉතිහාසය හා ඒ හා බැඳි වතගොත සොයා යන්නට අප අදහස් කලේ ද එබැවිනි.


ෆිල්ම්ෆෙයාර් සම්මානයේ අර්ථකථනය දැක්වෙනුයේ හින්දි සිනමාවේ කලාත්මක හා තාක්ෂණික ඇගයීමක් ලෙස හින්දි භාෂා චිත්‍රපට  උදෙසා මේ සම්මානය පිලිගන්වනු ලබන බවය.1954 වසරේ ඇරඹෙන ෆිල්ම්ෆෙයාර් ඉතිහාසය ආරම්භයේ එහි නම ෆිල්ම්ෆෙයාර් නොවීය.එය හැඳින්වූයේ "ක්ලෙයාර්ස් සම්මාන" (The Clares) ලෙසිණි.එයට හේතු වී ඇත්තේ මේ සම්මාන උළෙල ඇරඹීමට මුලිකත්වය ගත් "ටයිම්ස් ඔෆ් ඉන්ඩියා" (Times Of India) පුවත්පතේ එකල ප්‍රධාන කතෘ වූ "ක්ලෙයාර් මෙඩොන්කා " (Clare Mendonca) මැතිඳුන්ට උපහාරයක් ලෙසටය.


1954 වසරේ ඉන්දියාවේ තවත් පිලිගත් සම්මාන උලෙලක් වන "ඉන්දියානු ජාතික සම්මාන" (National Awards) හා සමගාමීව ඇරඹි ෆිල්ම්ෆෙයාර් සම්මාන විනිශ්චයන් මුල් කාලයේදි ඉන්දියානු රජය මඟින් නම් කල විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදු කෙරුණි.එහෙත් පසු කාලීනව ඒ ක්‍රමයේ වෙනසක් ඇති කරමින් ජනතාවගේ මනාපයද මේ සඳහා ලබා ගැනීමට සංවිධායකයින් තීරණය කලේය.ඒ අනුව එදා පටන්  අද දක්වාම ජුරියත්, ප්‍රේක්ෂක මනාපයත් යන ක්‍රම දෙකම ෆිල්ම්ෆෙයාර් විනිශ්චයන් උදෙසා දායක කරගනු ලැබේ.
ෆිල්ම්ෆෙයාර් සඳහා අනුග්‍රහය දැකිවීම විවිධ ආයතන හරහා සිදු කරනු ලබන අතර  90' දශකයේ දී වසර කිහිපයක් මෙම සම්මාන රාත්‍රිය සජීවීව විකාශය කිරීම සිදු කර ඇත.පසුව කිසිඳු සඳහනකින් තොරව එය නවතා දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ.මේ පිලිබඳ විවිධ අදහස් මතු වී ඇති අතර ඒ අතර නලු නිලියන්ගේ ආරක්ෂාවත්,විකාශයේ දී ඇතිවන විවිධ ගැටලු මඟ හරවා ගැනීමත් යන හේතු සඳහන් වී ඇත.කෙසේවුවත් වර්තමානයේදී සම්මාන උළෙල පවත්වා සති කිහිපයකට පසු සංස්කරණය කල සම්මාන රාත්‍රිය රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව උදාවේ.



                                                                        දිලීප් කුමාර්


1954 වසරේ පැවැත් වූ පලමු සම්මාන රාත්‍රියේ සම්මාන 5ක් ප්‍රධානය කල වග සඳහන් වේ. එහිදී  හොඳම චිත්‍රපටය ලෙස  Do Bighaz Zameen චිත්‍රපටය සම්මාන දිනා ඇත.හොඳම අධ්‍යක්ෂණය සඳහා බිමාල් රෝයි,හොඳම නලුවා ලෙස  දිලිප් කුමාර් "Daag" චිත්‍රපටයේ රංගනය උදෙසාත්,මීනා කුමාරි "Baiju Bawra" චිත්‍රපටය උදෙසා හොඳම නිලිය ලෙසටත් සම්මානයටත් පාත්‍ර වී ඇත. එමෙන්ම ඒ වසරේ හොඳම චිත්‍රපට සංගීතය උදෙසා වූ සම්මානය නවුෂාද් අලි විසින් "Baiju Bawra" චිත්‍රපටයේ සංගීතය උදෙසා දිනා ගත්තේය.


වර්තමානය වන විට ෆිල්ම්ෆෙයාර් සම්මාන 31 ක් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලබාදීම සිදුවේ.ෆිල්ම්ෆෙයාර් සම්මානය නැතහොත් "Black Lady" ලෙසින් හඳුන්වනු ලබන මේ සම්මානය මුල්වරට නිර්මාණය කර ඇත්තේ "N.G.Pansare " නැමැති නිර්මාණ ශිල්පියා විසිනි."ටයිම්ස් ඔෆ් ඉන්ඩියා" පුවත්පතේ වෝල්ටර් ලැන්ග්හැමර් නම් පුද්ගලයාගේ මගපෙන්වීම යටතේ නිර්මාණය වූ මේ සම්මානය ලෝකඩ වලින් නිර්මිතය.ශුද්ධ බර කිලෝග්‍රෑම් 5ක් හා උස සෙන්ටිමීටර් 46.5ක් ලෙස සඳහන් වේ.හින්දි සිනමාවේ 25 වෙනි සහ 50  වෙනි සංවත්සර සැමරීම උදෙසා මෙය පිලිවෙලින් රිදී සහ රත්‍රන් භාවිතා කර නිර්මාණය කරනු ලැබීම ෆිල්ම්ෆෙයර් ඉතිහාසයේ සුවිශේශී අවස්තාවක් ලෙස අපට දැක්විය හැකිය.


2000 වසරේ සිට "The Award Gallery" අතින් නිර්මාණය වෙන ෆිල්ම්ෆෙයාර් සම්මානයට 2013 සිට 3D තාක්ෂණය  භාවිතා කිරීම අරඹා ඇත.සංවිධායකයින් පවන්නේ 2013 වසරේ තේමාව වූ "වසර 100ක් ඉදිරියට" තේමාවත්,බොලිවුඩයේ නව තාක්ෂණික භාවිතයත් යන කරුණු සංකේතවත් කිරීම සඳහා මෙලෙස 3D තාක්ෂණය සම්මානය උදෙසා යොදා ගත් බවය.


ෆිල්ම්ෆෙයාර් සම්මාන පහත පරිදි කොටස් 4කට වර්ගීකරණය කර ඇත.එනම් කුසලතා / විචාරක / තාක්ෂණික හා විශේෂ සම්මාන ලෙසය.

අවසාන වශයෙන් දැක්වූ විශේෂ සම්මාන වන්නේ

    1.Life time achivement Award
    2.RD Burman Award for New Music
    3.Special Performance Award

 
එමෙන්ම මුල් කාලයේ ලබා දී පසුව ඉවත් කෙරුණු ෆිල්ම්ෆෙයාර් සම්මානද කිහිපයක් ඇත.එනම්


   1.Best Scene (1998 - 2000)
   2.Power Award (2003 - 2007)



එමෙන්ම අද වනවිට වැඩිම ෆිල්ම්ෆෙයාර් සම්මාන ලාභීන් ලෙස ඉතිහාස ගත වන්නේ ,හොඳම චිත්‍රපටය උදෙසා "Black" සම්මාන 11ක්ද, "Dilwale Dulhaniya Le Jayege " සම්මාන 10ක්ද ,"Devdas" චිත්‍රපටය සම්මාන 10ක්ද ලෙසින්.


හොඳම නලුවා සඳහා දිලීප් කුමාර් සහ ෂාරුක් ඛාන් මේ වන විට සම්මාන 8 බැගින්ද, හොඳම නිලිය සඳහා නූටන් සහ කාජල් සම්මාන 5 බැගින් ද හොඳම අධ්‍යක්ෂණය උදෙසා බිමල් රෝයි  සම්මාන 7ක්, යාශ් චොප්‍ රා සහ සංජේ ලීලා බන්සාලි සම්මාන 4 බැගින්ද දිනා ඇත.එමෙන්ම වැඩිම විචාරක සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ අම්තාබ් බච්චන් විසිනි.





2017 වසර වන විට ෆිල්ම්ෆෙයාර් ඉතිහාසයට අවුරුදු 62කි.මේ වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියද බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ සම්මාන රාත්‍රියක් බවට පත් වීමද විශේෂය.වසර ගණනාවකට පසු ෂාරුක් ඛාන්,අමීර් ඛාන් සහ සල්මාන් ඛාන් එකට හොඳම නලුවා සඳහා තරග බිමට පිවිසීම ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර ඒ මේ වසරේ කතා බහට ලක්වූ චිත්‍රපට වූ "ෆෑන්", "සුල්තාන්"  හා "දාන්ගල්" චිත්‍රපට වෙනුවෙනි.කෙසේ වුවත් අවසානයේ අමීර් ඛාන් වසර ගණනාවකට පසුව ෆිල්ම්ෆෙයාර් හොඳම නලුවාට හිමි සම්මානය දිනා ගත් අතර ඔහු රංගනයෙන් දායක වූ "දාන්ගල්" චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය සඳහා නිතේෂ් තිවාරි හා හොඳම චිත්‍රපටය ලෙසටද සම්මාන දිනා ගත්තේය.


වසරේ කැපී පෙනෙන දක්ෂතා තුලින් 2016 වසරේ කාගෙත් අවධානය තමන් වෙතට යොමු කරගත් ආලියා බාට් "උඩ්තා පන්ජාබ්" හි ඉදිරිපත් කල  රංගනය උදෙසා හොඳම නිලිය බවට පත් වූවාය.අවුරුදු 23දී ෆිල්ම් ෆෙයාර් හොඳම නිලිය ලෙසින් සම්මාන දිනා ගනිමින් කාගේ කාගෙත් අවධානය නැවත වරක් තමන් වෙත යොමු කරගන්නට ඈ සමත් විය.විචාරක අංශයේ හොඳම නලුවා සහ නිලිය ලෙස ෂාහිඩ් කපූර්,මනෝජ් බිජ්පාය් සහ සෝනම් කපූර් පිලිවෙලින් උඩ්තා පංජාබ් ,අලිගර් සහ නීර්ජා හි දැක්වූ කැපී පෙනෙන රංගනය උදෙසා දිනාගද්දී එම කාණ්ඩයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ නීර්ජා චිත්‍රපටය.

                                                            හොදම නිළිය ආලියා
           

ෂාරුක් ඛාන්,කරන් ජෝහර්,කපිල් ශර්මා මෙවර ෆිල්ම්ෆෙයාර් රාත්‍රිය නිවේදන කටයුතු වලින් දායක වූ අතර සුපිරි බොලිවුඩ් තරු රැසකගේ මනස්කාන්ත නර්තන රැසකින් මෙවර ෆිල්ම්ෆෙයාර් රාත්‍රිය වර්ණවත් වී තිබුණි.මෙලෙසින් තවත් අති සාර්ථක ඇගයීම් රැසක් සමඟින් ෆිල්ම්ෆෙයාර් 2017 නිමාව දුටුවේ ලබන වසරේ බොලිවුඩයට එවැනිම විජයග්‍රාහී අති සාර්ථක දක්ෂතා රැසක් දැක ගැනීමේ අරමුන හා අභිප්‍රායත් සමඟිනි.




හංසි ජයතිලක 

0 comments:

Post a Comment