රූප, ජීවිතය සහ ජායාරූප !






මෙහෙමයි, පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔබ ලඟ ඔබේ ජීවිතේ විවිධ අවස්ථාවල ජායාරූප  එහෙම නැතිනම් අපිට තේරෙන සරල භාෂාවෙන් කිව්වොත් ෆොටෝ කීයක් විතර තියෙනවද? එක සැරේටම ඔයාලට මතක් වෙන්නේ ගෙදර අල්මාරියේ හරි පොත් මේසේ උඩ හරි තියන ෆොටෝ ඇල්බම්  එක. ඔබ හිතින් ගණන් කරලා බලාවි ඒකේ ෆොටෝ කීයක් තිබුණද කියන්න. ඊට පහුවෙලයි ඔබට ඔය ෆෝන් එකේ හරි ලැප් එකේ හරි සේව් කරගෙන තියන් ඉන්න ෆොටෝ කන්දරාව මතක් වෙන්නේ. ඒක නේද ඇත්ත?


ඉස්සර ඔය ඇල්බම් එකේ තියෙන ෆොටෝ වලයි දැන් මේ අපි විනාඩියකට හැට ගානේ ගන්න ෆොටෝ වලයි වෙනස මොකක්ද? ඉස්සර ඒවට වඩා දැන් ඒවා ජායාරූපමය තත්වයෙන් උසස්.ඒ වුනාට මොනා හරි අඩුවක් තියෙනවා වගේ තේරෙන්නෙ නැද්ද?


සරලම කාරණය මේකයි, ඉස්සර ෆොටෝ වල තියෙන්නෙ අපි ජීවිතේ විඳින  මොහොතවල් ජායාරූපයට නැඟුන අවස්ථාවන්. දැන් බහුතරයක් අපි කරන්නේ ජීවිතේ යමක් විඳින්න කලින් ෆොටෝ ගන්න එක.මේ ලියන මමත්, එය කියවන ඔබත් අඩු වැඩි වශයෙන් කරන්නේ ඒක.


අපි උදේ නැඟිටින්නේ සෙල්ෆියක් අරගෙන. ගුඩ් මෝනිං මැසේජ් එකත් එක්ක ඒක පෙම්වතාට පෙම්වතියට යවනගමන්. ඔෆිස් යන්න ලැහැස්ති  වෙලා අලුත් සාරියක්, ශර්ට් එකක් නම් ඇන්දේ ඒ කරලත් ෆොටෝ එකක් අරන් instagram  දාන එක. පාරේ බස් එකේ යද්දී අනතුරක් එහෙම නැතිනම් වෙනත් විශේෂ යමක් දැක්කොත් කරන්නේ ඒකත් ෆොටෝ එකක් ගන්න එක. ඔෆිස් එකට ගියත් යාලුවෝ එක්ක ෆොටෝ ගන්න එක. පත්තරේ කියවන්න ගත්තත් ඒකේ තියන මොනා හරි. කෑම කන්න ගියත් ලොකු හෑෂ් ටැග් ටිකක්  එක්ක පෝස්ට් කරන්න  කෑම වල ෆොටෝ. හවසට පාරේ එන ගමන් දකින හිඟන්නෙක්.  ආයේ හවස ඉර බහින හැටි. ගර්ල්ෆ්‍රෙන්ඩ් / බෝයිෆ්‍රෙන්ඩ් එක්ක මුණ ගැහුණම, ට්‍රිප් ගියාම,මැච් දින්නම ආදී දාහසකුත් අවස්ථාවන් වල අපි මුලින්ම කරන්නේ ෆොටෝ එකක ඒ අදාළ මොහොත , හැඟීම සිර කරගන්න එක. ඊට පස්සෙයි අපිඒ අවස්ථාව විඳින්නේ. එහෙම නෙවෙයිද?  ඔබ ඒ ගැන තර්ක කරයි.  නමුත් යථාර්ථය  ඔබ දන්නවා.


කිසිම විරෝධත්වයක් නැහැ අපි අතීතයට වඩා දියුණු විදියට තාක්ෂණය භාවිතා කිරීම ගැන. ඒත් අපි ඒක භාවිතා කරන්නේ මොන ආකාරයෙන්ද කියන එක වැදගත්. වාහනයක් අනතුරට පත්වුනාම ඒක ෆොටෝ ගන්නවට වඩා පුලුවන් උපකාරයක් කරන එක මිස, තරඟයක ජයග්‍රාහකයා බිහිවෙද්දී ඔල්වරසන් දෙනවා මිස, ජංගම දුරකථනය  සමඟ මිතුරු වී කැමරාවක් ආව පමණින්, ඔබේ සියල්ල කැමරාවේ පාලනයට දෙනවාද ?  මොහොතක්  සිතන්න.


විඳින්න,ඊට පසු මතකය එකතු කරගන්න.  වෘත්තියමය  ජායාරූප ශිල්පීන් ඔවුන්ගේ වගකීම ඉටු කරාවි. ඔබ විඥානයක් ඇතිව හැසිරෙන්න.  මේ කිව්වේ ෆොටෝ ගන්න එපා කියන එක නෙවෙයි.ඔබේ ආශ්වාදය , සතුට හෝ මතකය වෙනුවෙන් ෆොටෝ දාහක් හරි ගන්න.ඒත් ඒ එක්ක ජීවත්වෙන්න අමතක කරන්න එපා!  ෆොටෝ ඇතුලේ ජීවිතේ කතාව තිබුණට, ෆොටෝ ඇතුලේ ජීවත් වෙන්න ඔබටත් මටවත් බෑ.





තිලිනි N. ලියනආරච්චි



0 comments:

Post a Comment