විශ්මිත නැවත පැමිණීම - චැම්පියන්ස් ලීග් පාපන්දු තරඟාවලිය




පාපන්දු යනු අසිරිමත් ක්‍රීඩාවකි. ලෝකයේ සතර දිග් භාගයෙහිම පාපන්දු ජනප්‍රිය වී ඇත්තේ එබැවිනි. මෙම අසිරිමත් පාපන්දු ක්‍රීඩාවේ තවත් එක් අසිරිමත් සිදුවීමක් පසුගිය 08 වනදා සිදුවිය. අද අපි ඒ පිලිබදව විමසා බලමු.

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය සෑම වසරකම පවත්වනු ලබයි. යුරෝපයේ එක් එක් රටවල පැවැත්වෙන පාපන්දු ලීග වල ඉහලම දක්ෂතා දක්වන කණ්ඩායම් 32ක සහභාගීත්වයෙන් පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලියෙහි මූලික වටයෙහි තරඟ කාණ්ඩ අනුව පැවැත්වෙන අතර සුපිරි 16 දෙනාගේ වටයේ සිට පිළිමලුන් පිටු දැකීමේ (Knock Out) ආකාරයට තරඟ පැවැත්වෙනු ලැබේ.


සුපිරි 16 දෙනාගේ වටයෙහි සිට තරඟ පැවැත්වෙන ආකාරය 


සුපිරි 16 දෙනාගේ වටයෙහි සිට තරඟ පැවැත්වෙන්නේ වෙනස්ම ආකාරයකට ය. එනම් තරග වදින කණ්ඩායම් දෙක අතර, තරඟ දෙකක් පවත්වනු ලැබේ. නිදසුනකට ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමක් සහ එංගලන්තයේ පාපන්දු කණ්ඩායමක් සලකමු. ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමට අයත් ක්‍රීඩා පිටියෙහි (Home Ground) එක් තරගයක්ද එංගලන්තයෙහි පාපන්දු කණ්ඩායමෙහි ක්‍රීඩාංගනයෙහි අනෙක් තරඟයද පවත්වනු ලැබේ. එවිට සත්කාරකත්වයෙහි වාසිය දෙපිලටම සමසේ බෙදී යනු ඇත.

ඒ අනුව ඒ ඒ කණ්ඩායම තරඟ ද්විත්වයෙහිම ලබාගන්නා ගෝල සන්ක්‍යාවෙහි එකතුවෙන් ඉදිරි වටයට යන කණ්ඩායම තීරණය කරනු ලැබේ. එනම් ඉහත නිදසුනම සැලකුවහොත්, ස්පාඤ්ඤයේදී පැවැත්වුන තරගයේදී ස්පාඤ්ඤයේ කණ්ඩායම ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය කර ඉන්පසු එංගලන්තයෙහි පැවැත්වුන තරගයෙන් එංගලන්තයේ පිල ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කරන ලද්දේ නම් ස්පාඤ්ඤයේ කණ්ඩායම ඉදිරි වටයට යාමට සුදුසුකම් ලබනවා ඇත. ඒ ගෝල 3-2ක් ලෙස තරඟ ද්විත්වයෙහි සමස්ත ප්‍රතිපලයෙන් ඔවුන් ඉදිරියෙන් සිටින නිසාය. එය ඒ තරමටම සරල නීතියකි. මෙම ප්‍රතිපලය ගෝල 3-3ක් ලෙස සටහන් වූවානම් (3-0 සහ 0-3 ) දෙවන වටයෙහි තරගයෙහි මුල් මිනිත්තු 90 අවසන් වූ පසු අතිරේක කාලය දක්වා තරගය පැවැත්වෙන අතර එයින්ද තරගයෙහි ප්‍රතිපලය වෙනස් නොවුනහොත් ඉන්පසු පෙනල්ටි දක්වාද තරගය පැවැත්වෙයි.

නමුත් යම් හෙයකින් ප්‍රථම තරගය ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රහණය කරන ලද්දේ ගෝල 3-1ක් ලෙස සිතමු. ඒ අනුව දෙවන තරඟයේදී එංගලන්තයේ කණ්ඩායම තරගය ගෝල 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළහොත් ඉදිරි වටයට යාමට සුදුසුකම් හිමිකරගනු ලබන්නේ එංගලන්තයේ කණ්ඩායමයි. සමස්ත ප්‍රතිපලය 3-3ක් ලෙස සටහන් වුවත් එංගලන්තයේ කණ්ඩායමට අනෙක් ක්‍රීඩාංගනයේදී පවත්වන ලද තරගයේදී ගෝලයක් තිබීම නිසා (away goal) ඒ අනුව එංගලන්තයෙහි කණ්ඩායම ඉදිරියට යනු ලැබේ.

ප්‍රධාන කතාව

ප්‍රධාන කතාවට යාමට මත්තෙන් චැම්පියන්ස් ලීග් තරගාවලියෙහි පිළිමලුන් පිටු දැකීමේ වටය පැවැත්වෙන ආකාරය සඳහන් කරන ලද්දේ ප්‍රධාන කතාවට එම නීති රීති සමීප වන නිසාය. එසේනම් දැන් අපි ප්‍රධාන කතාවට අවතීර්ණ වෙමු. 2016/17 යුරෝපා චැම්පියන්ස් ලීග් තරගාවලියෙහි සුපිරි 16 දෙනාගේ වටයේ තරගයකදී ස්පාඤ්ඤයේ බාසිලෝනා සහ ප්‍රංශයේ PSG (පැරිස් සේන්ට්-ජර්මාන්) කණ්ඩායම් ද්විත්වය අතර තරගයක් පැවැත්වෙන ලදී. ලෝකයේ තිබෙන පාපන්දු සමාජ අතරින් සුපිරිම පාපන්දු කණ්ඩායම් ද්විත්වයක් ලෙස මෙම කණ්ඩායම් ද්විත්වය අවිවාදයෙන් හැදින්විය හැකි අතර මෙම තරගයට බොහෝ දෙනාගේ අවධානය යොමුවීමට එයද එක් හේතුවක් විය. 

පෙබරවාරි 14 - පැරිස් 


ඒ අනුව මෙම කණ්ඩායම් ද්විත්වය අතර පැවති පළමු තරගය පසුගිය පෙබරවාරි මස 14 වන දින ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වුන අතර එහිදී PSG කණ්ඩායම තරගය ජයග්‍රහණය කරන ලද්දේ ගෝල 4-0ක් ලෙසින්ය. බාසිලෝනා වැනි කණ්ඩායමකට එරෙහිව එවැනි විශිෂ්ට ජයක් ලැබීම බොහෝ දෙනාගේ විශ්මයට හේතු වුවද එය සැබවින්ම එලෙස සිදුවිය. ඒ අනුව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ නිගමනය වූයේ බාසිලෝනා කණ්ඩායම මෙවර අර්ධ අවසන් වටයටවත් පිවිසෙන්නේ නැතිව සුපිරි 16 දෙනාගේ වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වනු ඇති බවයි. 


                                                 පැරීසියේ පැවති තරගය ආරම්භ වීමට ප්‍රථම 



පැරිස් කණ්ඩායම වෙනුවෙන් ඒන්ජල් ඩි මරියා ගෝල දෙකක් රැස් කරන්නට සමත් වූ අතර යූලියන් ද්‍රක්ස්ලර් සහ එඩින්සන් කවානි එක් ගෝලය බැගින් රැස්කරන ලදී. 

                                               පැරිස් කණ්ඩායමේ ඒන්ජල් ඩි මරියා ගෝලයක් රැස් කිරීමෙන් අනතුරුව 


මාර්තු 08 - බාසිලෝනා 


පළමු භාගය 


                                                  ලුයිස් සුවාරෙස් පළමු ගෝලය වාර්තා කරමින් 


ඒ අනුව බාසිලෝනා කණ්ඩායමට තරගාවලියෙහි ඉදිරියට යාමට නම් පසුගිය 08 වනදා බාසිලෝනා නගරයෙහි පවත්වන ලද තරගය අවම වශයෙන් ගෝල 4-0ක් ලෙසින් හෝ ජයග්‍රහණය කිරීම අනිවාර්ය දෙයක් වී තිබුණි. තරගය ආරම්භ වූ මොහොතේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ බාසිලෝනා ක්‍රීඩකයින්ට එහි ප්‍රතිපල ලබාගැනීමට වැඩි වෙලාවක් ගත වූයේ නැත. තරගයේ 3න් වන මිනිත්තුවේදී බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් රැස් කරන්නට ලුයිස් සුවාරෙස් සමත්විය. ඉන්පසු බාසිලෝනා කණ්ඩායම සිය ආක්‍රමණය තවත් දැඩි කල අතර තරගයේ 40 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කරගන්නට බාසිලෝනා කණ්ඩායමට හැකිවිය. එය පැරිස් කණ්ඩායමේ කර්සාවාගේ ඔව්න් ගෝලයක් වූ නමුත්  අන්ද්‍රේස් ඉනියෙස්ටාගේ විශිෂ්ට ක්‍රීඩා හැකියාව නිසා එම අවස්තාව නිර්මාණය විය. ඒ අනුව තරගයේ ප්‍රථම අර්ධය නිමා වූයේ ගෝල 2-0ක් ලෙසින් බාසිලෝනා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්ය. සමස්ත ප්‍රතිපලය 4-2ක් ලෙස ඒ වනවිට දැක්වුන අතර තරගය අතිරේක කාලයට ගෙනයාම සදහා බාසිලෝනා කණ්ඩායමට තවත් ගෝල 2ක් අවැසිව තිබුණි.


දෙවන භාගය 


                                                   මෙසී ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව 


විවේක කාලයෙන් අනතුරුව මිනිත්තු 5ක් ගතවීමට මත්තෙන් බාසිලෝනා කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී එම ගෝලය වාර්තා කරන ලදී. එය පෙනල්ටි ගෝලයක් විය. ඒ අනුව තරගය අතිරේක කාලයට ගෙනයාම සදහා තවත් එක් ගෝලයක් බාසිලෝනා කණ්ඩායමට අවැසිව තිබු අතර අතිරේක කාලයට නොගොස් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට තවත් ගෝල දෙකක් අවශ්‍ය වී තිබුණි. සියල්ලම වෙනස් වූයේ මෙම අවස්ථාවේදීය. තරගයේ 62වන මිනිත්තුවේදී පැරිස් කණ්ඩායමේ එඩින්සන් කවානි ගෝලයක් වාර්තා කරන ලද්දේ ක්‍රීඩාංගනයේ සිටි සහ රූපවාහිනියෙන් තරගය නැරබූ සියලුම බාසිලෝනා ප්‍රේක්ෂකයින්ගේ නෙතට කදුලක් ගෙනදෙමිනි. එම ගෝලයත් සමගින් සමස්ත ප්‍රතිපලය 5-3ක් ලෙස දැක්වුණ අතර බාසිලෝනා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නම් තවත් ගෝල 3ක් අවශ්‍යව තිබුණි. එම අවස්තාවේදී එය සිදුකල නොහැකි කාර්යයක් ලෙස බොහෝ දෙනා සිතූහ.

88 වන මිනිත්තුව තෙක් 


තරගය ඇදී ගියේය. 70 වන මිනිත්තුව පසුවිය. ගෝලයක් නැත. 75 වන මිනිත්තුවත් පසුවිය. ගෝලයක් නැත. 80 වන මිනිත්තුවත් පසුවිය. ඒත් ගෝලයක් නැත. එසේනම් කෙලෙස ගෝල 3ක් වාර්තා කරන්නද? තරගය 85 වන මිනිත්තුව දක්වා ඇදී ගියහ. ඒ වන විටත් ගෝලයක් නැත. නමුත් තරගයේ 88 වන මිනිත්තුවේදී බාසිලෝනා කණ්ඩායමේ නෙයිමාර් විසින් විශිෂ්ට ගෝලයක් රැස් කරගන්නට සමත්විය. නිදහස් පහරකින් රැස් කරගත් එම ගෝලය විවාදයකින් තොරවම අති විශිෂ්ට එකක් වීය. එසේනම් ඉතිරි මිනිත්තු කිහිපය ඇතුලත බාසිලෝනා කණ්ඩායම තවත් ගෝල 2ක් රැස් කලයුතු විය.

                                                     නෙයිමාර්ගේ විශිෂ්ට නිදහස් පහර

90+


තරගයේ මුල් මිනිත්තු 90 අවසන් වූ පසු අතිරේක කාලයට යාමට මත්තෙන් තවත් මිනිත්තු 5ක කාලයක් (Injury Time) ලැබුණි. එම කාලයේදී පෙනල්ටි අවස්තාවක් ලැබීමට බාසිලෝනා කණ්ඩායම සමත්විය. එම පෙනල්ටි අවස්තාව සාර්ථකව ගෝලයක් බවට පත්කරගැනීමට බාසිලෝනා කණ්ඩායමේ නෙයිමාර් ට හැකියාව ලැබුනේ සමස්ත ලෝකයක් ඔහු දෙස බලා සිටින අවස්ථාවකදීය. බාසිලෝනා කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට තරගයේ තවත් මිනිත්තු 4ක කාලයක් ඉතිරිවී තිබූනි.

සර්ජි රොබර්ටෝ 


තරගය අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී තරගයේ 95 වන මිනිත්තුවේදී බාසිලෝනා කණ්ඩායමේ සර්ජි රොබර්ටෝ බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් රැස් කරගන්නට සමත්වූයේ වාර්තා රැසක් අලුත් වූ මෙම තරගයේ ජයග්‍රාහී ගෝලයේ සාඩම්බර හිමිකරුවා බවට පත්වෙමිනි. එම ගෝලය කිසිදා, කිසිදා බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවනු ඇත. ආදේශ ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි රොබර්ටෝගේ ගෝලය සඳහා ඇසිස්ට් එක ලබාදුන්නේ නෙයිමාර් විසින්ය. ඒ අනුව ගෝල 6-5ක් ලෙසින් ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට බාසිලෝනා කණ්ඩායමට හැකිවිය.



                                          සර්ජි රොබර්ටෝ ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව 
                                                 


ඉතිහාසය අලුතෙන් ලියවුන තරගයක් වූ මෙම තරගය වාර්තා වන්නේ චැම්පියන්ස් ලීග් තරගාවලියක තරග ද්විත්වයක, ප්‍රථම තරගය ගෝල 4-0ක් ලෙසින් පරාජය වුවත් ඉදිරි වටයට යාමට කණ්ඩායමක් සමත් වූ එකම අවස්තාව ලෙසින්ය. මීට පෙර අවස්ථා 58දීම කණ්ඩායම් 4-0ක් ලෙසින් පසුබැස ඇති අතර ඉන් එකදු කණ්ඩායමකට හෝ ඉදිරි වටයට පිවිසීමට හැකිවී නැත. එබැවින් මෙය ඉතාමත් දුර්ලභ අවස්තාවක් ලෙස හැදින්විය හැක. අති විශිෂ්ට ලෙසින් ක්‍රීඩා කල බාසිලෝනා කණ්ඩායමේ නෙයිමාර් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය. තරගයේ විශේෂ අවස්ථා ඔබට පහතින් නැරබීමට හැකිය.



 








චමත් දිල්ෂික

0 comments:

Post a Comment