දියවැඩියාව - (Diabetes) 2 කොටස

දියවැඩියාව සහ පරීක්ෂණ




පසුගිය ලිපිය මගින් දියවැඩියා රෝගය පිළිබද මුලික අවබෝදයක් අප ලබාගනු ලැබුවා. එහිදී මුලිකවම දියවැඩියාව යනු කුමක්ද, එහි විවිද ආකාර, රෝග වැළදීමට හේතු, රෝගය නිසා ඇතිවන සංකුලතා හදුනාගනු ලැබුවා. මෙම ලිපිය මගින් අප මුලිකවම රෝග විනිශ්චය පිලිබදව අවදානය යොමු කරමු.



වෛද්‍ය විද්‍යාවේ ආරම්භක අවදිය සිටම ගතහොත් වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රදාන කාර්යයන් තුනක් හදුනාගත හැක.

1. රෝග විනිශ්චය
2. රෝග සදහා ප්‍රතිකාර කිරීම සහ
3. රෝග ඇතිවීම වැලැක්වීම.

මෙයින් පළමු කාර්යය වන රෝග විනිශ්චය සිදු කරන අකාරය මදක් විමසා බලමු. වර්තමානයේ ඔබ වෛද්‍යවරයෙක් වෙත ගිය පසු ඔබගේ රෝගී තත්වය විනිශ්චය කරනා ආකාරය මදක් විමසා බලමු. පළමුව වෛද්‍යවරයා ඔබගෙන් ඔබට ඇති රෝග ලක්ෂණ, නැතහොත් ඔබට ඇති අපහසුතා පිලිබදව විමසනු ඇත, ඉන්පසු ඔබ වෛද්‍යවරයා වෙත පවසන තොරතුරු සහ වෛද්‍යවරයා ඔබෙන් විමසනු ලබන ප්‍රශ්න මගින් ඔහු හෝ ඇය ඔබගේ සායනික ඉතිහාසය (Clinical History) හදුනාගනු ලබයි. ඉන් පසුව ඔබව සුදුසු අවශ්‍ය ආකාරයට සායනිකව පරික්ෂා කරනු ලබයි(උදාහරණයක් ලෙස ස්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ශා කිරීම(Clinical Examination)). මෙලෙස උකහාගනු ලබන තොරතුරු මගින් වෛද්‍යවරයා සතු දැනුම අත්දැකීම් උපයෝගී කරගනිමින් රෝග විනිශ්චයක් සිදුකරනු ලබයි.


ඉන් පසු වැඩිදුර තහවුරු කර ගැනීම සදහා ඔබව විවිද පරීක්ෂණ වෙත යොමු කරනු ලබයි. වර්තමානයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග වෛද්‍ය පරිෂණ ඉතාමත් දියුණු සහ ප්‍රචලිත මට්ටමකට පැමිණ ඇත, එමගින් රෝග විනිශ්චය වඩා නිරවද්‍ය සහ ඉක්මන් වී තිබේ. නමුත් විශේෂයෙන් සදහන් කල යුතු කරුණක් වෛද්‍ය පරීක්ෂණ කෙතරම් දියුණු වුවත් දක්ෂ අත්දැකීම් සහිත වෛද්‍යවරයෙක්ට බොහොමයක් රෝග වෛද්‍ය පරීක්ෂණ වලින් තොරව විනිශ්චය කිරීමේ හැකියාව පවතී, නමුත් ඇතැම් රෝගීන් වෛද්‍යවරයා කෙතරම් හොදින් රෝග විනිශ්චය සිදුකලත් වෛද්‍ය පරීක්ෂණයක් සිදු නොකළහොත් එය අඩුපාඩුවක් ලෙස දකින අවස්ථා ඇත, නමුත් එය සැම විටම අත්‍යවශ්‍ය කරුණක් නොවේ ඇතැම් විට එය අනවශ්‍ය මුදල් නාස්තයකි තවද අනවශ්‍ය ලෙස අවධානම් වලටද ලක්විය හැක. එම නිසා අවශ්‍ය අවස්ථාවලදී පමණක් සුදුසු ලෙස වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වීම වැදගත්වේ.


වෛද්‍ය පරීක්ෂණ පිළිබද මුලික අවබෝදයක් ලබාගත් පසු, නැවතත් අපි දියවැඩියා රෝගය සදහා වන පරීක්ෂණ කෙරෙහි අවදානය යොමු කරමු. දියවැඩියා රෝගියෙක් විසින් සිදුකලයුතු පරීක්ෂණ ප්‍රධාන වර්ග තුනකට වෙන් කල හැක.



  • රෝග විනිශ්චය සදහා වන පරීක්ෂණ

  • සීනි මට්ටම පාලනය වන අකාරය සදහා වන පරීක්ෂණ

  • දියවැඩියාව නිසා ඇතිවන සංකුලතා සදහා වන පරීක්ෂණ  


1.රෝග විනිශ්චය සදහා වන පරීක්ෂණ 


ඉහත සදහන් කල පරිදි වෛද්‍ය වරයෙකු විසින් රෝග ලක්ෂ පරික්ෂා කිරීමෙන් පසු ඔබගේ රෝගී තත්වය දියවැඩියාව දැයි තහවුරු කරගැනීම සදහා මෙම පරීක්ෂණ වෙත යොමු කරනු ලබයි. ඉන් කිහිපයක් අප විමසා බලමු.


නිරාහාර රුධිර සීනි පරික්ෂාව (FBS - Fasting Blood Sugar)





දියවැඩියාව විනිශ්චය සදහා වර්තමානයේ බහුලවම බාවිතා වන පරීක්ෂණය වන්නේ මෙයයි. නිරවද්‍ය තාවයෙන් ඉහළ වීම මෙන්ම මිල අඩු පරීක්ෂණයක් මෙන්ම පහසුවෙන් සිදුකල හැකි වීමද විශේෂත්වයකි. තවද රෝග විනිශ්චය සදහා වන පරිෂණයක් ලෙස මෙන්ම, දියවැඩියා රෝගය සදහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටමේ පාලනය පරික්ෂා කිරීමටද මෙය යොදාගනී. මෙහිදී පැය 10ක් නිරාහාරව සිටිය යුතුය, එනම් ඔබ මෙම පරීක්ෂණය සදහා උදැසන 8 ට රුධිර සාම්පලයක් ලබා දෙනවා යැයි සිතමු එසේනම් ඔබ එදිනට පෙර දින රාත්‍රී 10න් පසු කිසිදු ආහාරයක් ලබා නොගත යුතුය. නමුත් අවශ්‍ය නම් ජලය යම් ප්‍රමාණයක් පානය කිරීම පරීක්ෂණය සදහා ගැටළුවක් නොවේ. නමුත් තේ, කොපි පලතුරු බිම වැනි දියරමය අහාර ගැනීමද නොකළ යුතුය. පැය 10ක් නිරාහාරව සිටීමෙන් පසු පරීක්ෂණය සදහා රුධිරය සාම්පලයක්(මිලි ලීටර 2ක් පමණ) ලබාදිය යුතුය තවද දැනටමත් දියවැඩියා රෝගය සදහා ප්‍රතිකාර ගන්නා රෝගීන් ඉන්සියුලින් හෝ අනෙකුත් දියවැඩියා ඖෂධ ලබාගැනීමට ප්‍රථම රුධිර සාම්පලය ලබාදිය යුතුය.
සාමාන්‍යයෙන් මෙහි අගය 100 mg/dl ට වඩා අඩුවිය යුතු අතර, 100 mg/dl – 126 mg/dl අතර නම් දියවැඩියාව සදහා අවදානමක් ඇති අතර, 126 mg/dl වඩා වැඩිනම් දියවැඩියාව ලෙස සලකනු ලබයි.
නමුත් දියවැඩියාව ලෙස නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නම් දින දෙකකදී පරීක්ෂණ දෙකක් සිදු කල යුතුය. නමුත් දියවැඩියා රෝගී ලක්ෂණ (පෙර ලිපිය බලන්න )සහිත පුද්ගලයෙකුට නම් එක් පරීක්ෂණක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වේ.



ආහාරයක් ගෙන පැය දෙකකට පසු රුධිර සීනි පරික්ෂාව (PPBS – Post Prandial Blood Sugar) 


යම් ආහාරයක් ලබා ගැනීම ආරම්භ කල අවස්ථාවේ සිට පැය දෙකක් සම්පුර්ණ වන මොහොතේම නිදර්ශකය වන රුධිර සාම්පලය ලබාගත යුතු අතර, දියවැඩියා රෝගීන්ගේ රෝග පාලනය, මෙන්ම ගැබිණි මව්වරුන් දියවැඩියා තත්ත්ව සහ අසාමාන්‍ය ලෙස රුධිර ග්ලුකෝස් මට්ටම අඩු වීම (Hypoglycaemia) මෙයින් නිරීක්ෂණය කෙරේ. එමෙන්ම පරීක්ෂණයයට පැය 36 කට පෙර සිට මධ්‍යසාර ගැනීමෙන් වැලකි සිටීම සහ නිරාහාරව සිටින වෙලාව තුලදී බර වැඩ කිරීමෙන් වැලකීම වැදගත්ය. දියවැඩියාව සදහා වන වෙනත් ඖෂධ භාවිහා කරන්නේ නම් ඒවා සාමාන්‍ය පරිදි ගත යුතුය.


මෙහිදී 200 mg/dl ට වඩා වැඩි වීම දියවැඩියා තත්වයක් ලෙස සැලකේ.


අහඹු රුධිර සීනි පරික්ෂාව (RBS - Random Blood Sugar)


මෙම පරීක්ෂණය සදහා පෙර සුදානමක් අවශ්‍ය නොවන අතර අහඹු ලෙස රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරනු ලබයි. මෙහි අගය 200 mg/dl හෝ ඊට වඩා වැඩි වූ විට දියවැඩියා තත්වයක් ලෙස සලකනු ලබයි. නමුත් අනෙකුත් පරීක්ෂණ වලට සාපේක්ෂව අඩු නිරවද්‍යතාවකින් යුක්ත වේ.



ග්ලුකෝස් 75g ලබාදී පැය දෙකකට පසු රුධිර පරික්ෂාව (OGTT – Oral Glucose Tolerance Test)
 ග්ලුකෝස් 75g ක් ජලයේ දිය කිරීමෙන් පසු පානය කිරීමට සලස්වන අතර පැය දෙකකට පසු රුධිර පරික්ෂාව සිදු කරනු ලබයි. නමුත් මෙම කාලය තුල වමනය දැමීමක් සිදු වුවහොත් පරීක්ෂණය සිදු කල නොහැක.
 මෙය ඉතා නිරවද්‍ය පරීක්ෂණයක් වන අතර. බොහෝ විට නිරාහාරව සිටීම එතරම් සුදුසු නොවන ගැබිණි මව් වරුන් තුල ඇතිවන දිය වැඩිය තත්වය හදුනා ගැනීමට යොදා ගැනේ.


HBA1C පරික්ෂාව 




මෙය සාපේක්ෂව තරමක් මිලෙන් අධික පරීක්ෂාවක් වන වේ. නමුත් මෙමගින් දියවැඩියා රෝගීන්ගේ පසුගිය මස තුනක කාලය තුල ග්ලුකෝස් මට්ටමේ පාලනය මැන බලනු ලබයි. එසේම දියවැඩියා රෝගීන් හදුනා ගැනීම සදහාද මෙම පරීක්ෂණය උපකාරී වේ. මෙම පරීක්ෂණය සදහා නිරාහාරව සිටීම හෝ වෙනත් පෙර සුදානමක් අවශ්‍ය නොවේ.


අප බොහෝ විට දැක ඇති පරිදි ඇතැම් රෝගීන් බොහෝ විට සිදු කරනු ලබන්නේ දියවැඩියා පාලනය සදහා දෙනු ලබන වෛද්‍ය උපදෙස් පිලිපදිමකින් තොරව නියමිත ලෙස ඖෂධ ලබා නොගෙන මසක් පුරාවට කටයුතු කර නමුත්, FBS වැනි පරීක්ෂණ වලට පෙර දිනක් හෝ දෙකක් පමණක් නියමිත් පරිදි  අහාර පාලනය කර, ඖෂධ ලබාගෙන මසකට දිනක් දෙකක් පමණක් පරීක්ෂණ වාර්තාව ලබාගන්නා තෙක් සීනි මට්ටම නිවැරදි ලෙස පාලනය කිරීමයි. බොහෝ විට එවැනි වාර්තා මගින් රෝගය පාලනය කිරීම කෙසේ වෙතත් වෛද්‍යවරයා සහ තමන්ගේ සිත සතුටු කර ගනී. ඔබට වැටහෙනවා ඇති රෝගයක් පාලනය විය යුත්තේ මසකට දිනක් හෝ දෙකක් වාර්තාව සදහා පමණක් නොව මාසය පුරාම බව. වාර්තාව කෙතරම් සුන්දර වුවත් රෝගය පාලනය වී නැත්නම් එයින් පලක් නොමැත. නමුත් HBA1C පරික්ෂාවේ අගය තීරණය වන්නේ මාස තුනක් පුරාවට රෝගියාගේ රුධිර සීනි පාලනය කිරීමේ මධ්‍යන්‍ය අගයක් මතය. දිනක් හෝ දෙකකින් එහි අගය සැලකිය යුතු වෙනසකට ලක් නොවේ. එම නිසා රෝගීන් නිසි පරිදි රෝගය පාලනය වනවාදැයි පරික්ෂා කිරීමට මෙය ඉතාම සුදුසු පරීක්ෂණයකි.


මෙහි අගය 6.5% ට වඩා වැඩිවීම දියවැඩියාව ලෙස සැලකේ. රෝග විනිශ්චය සදහාද මෙහි එක් පරීක්ෂණ අගයක් පමණක් තිබීම ප්‍රමානවත් වේ.

CBS – Cappilary Blood Sugar Test

නිවෙස් තුල ප්‍රයෝජනයට ගන්නා ග්ලුකෝ මීටර (Gluco Meters) ඔබ බොහෝ දෙනෙක් නිසැකවම දැක ඇති. මෙහිදී සිදු කරනු ලබන්නේ අතේ ඇගිල්ලක කුඩා ඉදි කට්ටක් වැනි තුඩක් (Lancet) මගින් සිදුරු කිරීමෙන් ගන්නා ලේ බිදුවකින් ග්ලුකෝ මීටරයක් මගින් රුධිර සීනි මට්ටම පරික්ෂා කිරීමයි. මෙය එත සරල අතර රුධිරය ලබා ගැනීමේදී ඇතිවන වේදනාවද අවම වේ, තවද සාමාන්‍ය කෙනෙකුට වුවද භාවිත කල හැකි නිසා වර්තමානයේ දියවැඩියා රෝගීන් අතර ප්‍රචලිතය, තවද උපකරණයේ තිරය මත අගය දර්ශනය වන නිසා ඉක්මනින් ප්‍රතිපල ලබා ගත හැක. නමුත් මෙහි ඇති ප්‍රදානතම අවාසිය වන්නේ එහි නිරවද්‍යතාවය අඩු අගයක පැවතීමයි. මෙය බොහෝ විට දියවැඩියා රෝගීන්ට හදිසියේ ඇතිවන අඩු සීනි මට්ටම (Hypoglycaemia) සහ අධි සීනි මට්ටම (Hyperglycaemia) හදුනා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත්ය.


මුත්‍රා සීනි පරික්ෂාව (Urinary Sugar Test)


මෙය තරමක් පහසු පරීක්ෂාවක් වන නමුත් නිරවද්‍යතාවය ඉතාමත් අවමය. එම නිසා වර්තමානයේ රෝග විනිශ්චය සදහා බහුලව භාවිතා නොවේ.

2. සීනි මට්ටම පාලනය සදහා වන පරීක්ෂණ.


සාමාන්‍යයෙන් ඕනෑම දියවැඩියා රෝගියෙක් මසකට වරක් වෛද්‍යවරයෙකු මුණ ගැසීම සහ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරවාගැනීම වැදගත්ය. මෙහිදී PPBS සුදුසු වන අතර මාස තුනකට වරක් පමණ FBS පරීක්ෂණයක් සිදු කරවා ගත හැක. නමුත් මෙම පරීක්ෂණ එක් එක් රෝගියාගේ තත්වය සහ වෛද්‍යවරයාගේ තීරණය මත පමණක් සිදු කල යුතුය.


විශේෂයෙන් සැම දියවැඩියා රෝගියෙක්ම තමන් සහභාගී වන වෛද්‍ය සායනය හෝ මුණ ගැසෙන වෛද්‍යවරයා විසින් සදහන් කරනු ලබන සායනික පොතක් පවත්වාගැනීම ඉතා වැදගත්ය, එය රෝගියාගේ සායනික ඉතිහාසය, සීනි පාලනය, පරීක්ෂණ ප්‍රථිපල නිවැරදි ලෙස සදහන් කිරීමෙන් රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටද පහසුවක් වේ. එමනිසා වාර්තා නිසි ලෙස සටහන් කර තැබීම සහ සායනික පොත නිසිලෙස පවත්වාගෙන යාම වෛද්‍යවරයාගේ මෙන්ම රෝගියගේද වගකීමක් වේ.


3. දියවැඩියාව නිසා ඇතිවන සංකුලතා සදහා පරීක්ෂණ


පෙර ලිපියෙන් සදහන් කල පරිදිම දියවැඩියා රෝගය නිසා විවිද සංකුලතා හටගනී. එම නිසා දියවැඩියා රෝගීන් රුධිර සීනි මට්ටම පරික්ෂා කර ගැනීම මෙන්ම සංකුලතා හදුනාගැනීමද වැදගත් වේ. පහත සදහන් වන්නේ එවන් පරීක්ෂණ කිහිපයකි. නමුත් සැම විටම මෙම පරීක්ෂණ සිදු කල යුත්තේ සුදුසු වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය උපදෙස් මත පමණකි.


1. රුධිර පීඩන පරික්ෂාව

දියවැඩියා රෝගීන් බොහොමයකට අධි රුධිර පිඩනයද පවතී එම නිසා නිරන්තරයෙන් පරික්ෂා කරවාගැනීම වැදගත්වේ.

2. හදවත් රෝග සදහා වන පරීක්ෂණ

පසුගිය ලිපියෙන් පෙන්වා දුන් පරිදි දියවැඩියාව හදවත් රෝග සදහා ප්‍රදනතම හේතුවකි. එම නිසා වසරකට වරක් විද්‍යුත් ඛන්තු රෙඛ පරික්ෂාව (ECG) වැනි පරීක්ෂණ සිදු කල යුතුය.


3. රුධිර කොලෙස්ටරෝල් පරික්ෂාව

දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම පාලනය අක්‍රිය වීම මෙන්ම මේද මටම පාලනය වීමද අසාමාන්‍ය වේ. එම නිසා අවම වශයෙන් වසරකට වරක් වත් හෝ වෛද්‍යවරයා නියම කරන පරිදි රුධිරයේ කොලෙස්ටරෝල් සහ මේද මට්ටම පරික්ෂ කරවා ගැනීම වැදගත්ය මේ සදහා පැය 12ක පමණ කාලයක් නිරාහාරව සිට නිදර්ශකයක් ලබාදිය යුතු අතර, පරීක්ෂණයට පෙර දින සිට ක්‍රමවත් හා සමබර අහාර වේලක් ගත යුතුය, පරීක්ෂණයට දිනයකට පෙර සිට මධ්‍යසාර ගැනීම නතර කල යුතුය (කොලෙස්ටරෝල් සහ රුධිරයේ මේද පාලනය පිලිබදව අප ඉදිරියේදී වෙනත් ලිපියකින් අප වැඩි දුරටත් සාකච්චා කරමු).


4. වකුගඩු සදහා වන පරික්ෂාව

දියවැඩියාව යනු වකුගඩු රෝග සදහා ප්‍රධානතම හේතු සාධකයකි. දියවැඩියා රෝගීන්ගෙන් 30-40% කට පමණ වකුගඩු දුර්වල වීම සිදු වේ. එම නිසා වකුගඩු වල ක්‍රියාකාරිත්වය පරික්ෂ කරවා ගැනීම ඉතාමත් වැදගත්වේ. අවම වශයෙන් වසරකට වරක් හෝ මුතා වල ප්‍රෝටීන් පරික්ෂාව සිදුකල යුතුය. එමෙන්ම Serum Creatinine පරික්ෂාව මගින්ද වකුගඩු ආශ්‍රිත රෝග පරික්ෂා කල හැක. ක්රියටිනින් පරික්ෂාව සදහා පරික්ෂණයට පැය 8ක පමණ කාලයක් තුල ව්‍යායාම කිරීමෙන් වැළකිය යුතුය. පැය 48 කට පෙර සිට වැඩිපුර රතු පති මස් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය. ක්රියටිනින් පරික්ෂාව සමග බොහෝ විට eGFR අගය මැනීමට ලක් කරන අතර එම පරීක්ෂණය වකුගඩු වල ක්‍රියාකාරිත්වය පිලිබදව ප්‍රතිපල ලබා දේ.



දියවැඩියා හදුනාගැනීම සදහා යොමු විය යුත්තේ කව්රුන්ද?

ඔබ වයස 35 කට වඩා වැඩි නම් වරක් හෝ රුධිර සිනී මට්ටම පරික්ෂා කරවාගැනීම ඉතාමත් සුදුසුය.
එමෙන්ම වයස අවරුදු 35 කට වැඩ අඩු වුවද පහත සදහන් අවධානම් සාධක ඇත්නම් පරීක්ෂණ සදහා යොමු වීම වැදගත් වේ.


  • රුධිර සීනි සදහා කරනු ලබන පරීක්ෂාවකින් ලැබුණු අසාමාන්‍ය ප්‍රතිපලයක්.

  • ඔබගේ මව, පියා, සහෝදර සහෝදරියන් වැනි එත කිට්ටු ඥාතියෙකු හට දියවැඩියා රෝගය පැවතීම.

  • අලස අඩු ශාරීරික ක්‍රියාකාරිත්වයක් සහිතව ජිවත් වීම සහ අධික බර(හෝ BMI අගය 25 කට වඩා වැඩි වීම) 

  • අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි වෙනත් රෝග තත්වයක් පැවතීම.

  • කාන්තාවක් නම් ගැබිණි සාමය තුල පවතින දියවැඩියා තත්වයන් පැවතීම.

  • දියවැඩියාව සදහා බලපන් වෙනත් අවදානම් සාධක පැවතීම.


එම නිසා ඔබත් මෙවැනි අවදානම්  තත්ත්ව සහිත නම් දියවැඩියාව සදහා පරීක්ෂණ වලට යොමු වීම වැදගත්ය. නමුත් සැම විටම පිළිගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පිළිපැදීමටද අමතක නොකරන්න. දියවැඩියාව යනු තවදුරටත් විරල රෝගයක් නොවේ එය ඉතාමත් සුලබ රෝගයකි එමනිසා නියමිත ලෙස පරික්ෂා කරව ගැනීමෙන් රෝගය කලින් හදුනාගැනීම මෙන්ම සංකුලතා වලක්වා ගැනීමටද හේතු වේ.


මීලග ලිපියෙන් දියවැඩියා රෝගීන් මෙන්ම දියවැඩියා රෝගය වලක්වා ගැනීමට සුදුසු සමබර අහාර පුරුදු පිලිබදව සකච්චා කරමු.


රවී අබේරත්න
වෛද්‍ය පීඨය
රාගම

0 comments:

Post a Comment