දියවැඩියාව (Diabetes)


                                                                 




                                                                          දියවැඩියාව, අප කාටටත් හුරුපුරුදු රෝගයක්. බොහෝ විට අද ලංකාව සැලකීමේදී දියවැඩියා රෝගියෙක් නොමැති පවුලක් නොමැති තරම්. කාලයක් වැඩිහිටි වියේ රෝගයක් ලෙස සැලකුවත් වර්තමානය වන විට එය බාල තරුණ මහළු භේදයකින් තොරව පැතිරී තිබෙන අයුරු සුලබව දැකගත හැකිය. දියවැඩියාව සදහා වන අන්තර්ජාතික පදනමේ දකුණු ආසියානු ශාඛාවට (International Diabetes Federation South-East Asia) අනුව  2015 වසර තුල ශ්‍රී ලංකාව තුල වාර්තා වූ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව මිලියන 1.16 ක් පමණ වේ. අවුරුදු 20 ත් 70 ත් අතර ජනගහනයෙන් 8.5% (මිලියන 1.1617) ක් පමණ දියවැඩියා රෝගින් වේ. වසරකට දියවැඩියාව නිසා සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 16.318 ක් වන අතර බරපතලම ගැටළුවක් වන්නේ මිලියන 0.595 ක් පමණ දියවැඩියාව සහිතව නමුත් නිශ්චිත රෝග විනිශ්චයක් රහිතව ජිවත් වේ. තවද සාමාන්‍යයෙන් එක් රෝගියෙක් වෙනුවෙන් වසරකට ඇමරිකන් ඩොලර්  114.6 ක් පමණ වැය වන අතර ඉහත සදහන් කල පරිදි රෝගීන් මිලියන 1.1617 ක් වෙනුවෙන් අප වැනි දුප්පත් රටකට දැරීමට වන වියදම ඔබම සිතා බලන්න. එමෙන්ම මෙම රෝගීන් සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවෙමින් පවතී.



මධුමේහය, දියවැඩියාව නැත්නම් ඩයබිටිස් ඇත්තටම මේ රෝගය කුමක්ද?

සරලව ගතහොත් දියවැඩියාව යනු මිනිස් සිරුරේ රුධිරයේ තිබිය යුතු නියමිත සීනි (ග්ලුකෝස් ) මට්ටම පැවතිය යුතු සාමාන්‍ය මට්ටම ඉක්මවා යාම නිසා ඇතිවන පරිවෘත්තීය ක්‍රියාවලිය හා සම්බන්ද රෝගී තත්වයකි. ග්ලුකෝස් යනු මිනිස් සිරුරේ ප්‍රධානම ඉන්ධනය වන අතර, රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය වන අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ හා එහි ක්‍රියාකාරිත්වයේ ඇතිවන ගැටළු නිසා මෙම රෝගී තත්වය ඇති වේ. සරලවම රුධිරයේ ඇති ග්ලුකෝස් සෛල තුළටඇතිවීමට සහය වේ එහි ක්‍රියාකාරිත්වය අඩපණවීමෙන් රුධිරයේ ග්ලුකෝස් ඉහළ යාමට හේතු වේ.


දියවැඩියා රෝගය සෑදෙන අකාරය,

දියවදියාවේ ප්‍රධාන ආකාර තුනක් පවතී


  • අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවීම සිදු නොවීම (Type 1 දියවැඩියාව ලෙස හැදින්වෙන අතර බොහෝ විට ළමා විය තුළ ඇතිවේ බොහෝවිට ජාන ගත රෝග මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් නිසා (Auto Immune Diseases) ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අග්න්‍යාශයික සෛල (B සෛල) ස්වයංව විනාශ කිරීමද හේතු වේ. තවද සුළු ප්‍රමාණයක් පිළිකා, ආසාදන වැනි හේතුන් නිසා අග්න්‍යාශය ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම නිසා වැඩිහිටියන් තුලද ඇතිවිය හැක)

  • සිරුරේ ඇති සෛල ඉන්සියුලින් හෝමෝනය සදහා ප්‍රතිරෝධය දැක්වීම  (Type 2 දියවැඩියාව ලෙස හැදින්වෙන අතර වයසට යාමත් සමග දැකිය හැකි වන්නේ මෙම තත්වයයි. මෙහිදී ඉන්සියුලින් නිපදවීම සිදුවුවත් සෛල එම හෝමෝනයට සාමාන්‍ය පරිදි ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙම තත්වය ඇති වේ. මෙය රෝගීන් අතර බහුලම තත්වයයි.

  • ගර්භණි අවධියේ කලින් දියවැඩියාව නොතිබූ මව්වරුන්ට ගර්භණි භාවය හා සම්බන්ධ හේතු මත ඇති වන රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යාම (මෙය බොහෝ විට තාවකාලික වන අතර ගර්භණි සමය අවසන් වීමත් සමග අවසන් වන අතර නමුත් ඇතැම් මව්වරුන්ට පසු කාලීනව Type 2 තත්වය දක්වා මෙය ගමන් කල හැක)





සාමාන්‍යයෙන් පහත සදහන් රෝග ලක්ෂණ දීර්ග කාලයක් තිස්සේ පවතී නම් එය දියවැඩියා තත්වයක් ලෙස සැක පල කල හැක. එවන් පුද්ගලයන් වැඩිදුරටත් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත තව දුරටත් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සදහා යොමු වීමෙන් පසුව සදහන් කර ඇති සංකුලතා ඇති වීම වලක්වා ගත හැක.


  • සිරුර කෙට්ටු වීම
  • අධික පිපාසය
  • අධික මහන්සිය
  • රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් මුත්‍රා පිට වීම
  • කුසගිනි වැඩිපුර දැනීම 
  • අතපය සහ ඇගිලි හිරි වැටීම 
  • ඇස් පෙනීම බොද වීම 




දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය නොකිරීම නිසා පහත සදහන් සංකුලතා ඇතිවිය හැක.


  • ඇස් පෙනීම දුර්වල වීම 
  • ස්නායුවලට හානි වීම මගින් අත්වල සහ පාදවල හිරිය, වේදනාව ඇති වීම මෙන්ම ලිංගික ඉන්ද්‍රියන්ගේ අප්‍රාණික බව ඇති වීම.
  • රුධිර වහනය අඩු වීම නිසා අසාදන ඇති වීමේ අවදානම වැඩි බැවින් පාදවල තුවාල ඇති වීම සහ නිසි ලෙස පාලනය කල නොහැකි වීමෙන් පදයන් අහිමි වීම දක්වා ගමන් කල හැක.
  • ආඝාතය, හදවත් රෝග සහ පදයේ නහරවල අබාධ සදහා ඇති අවදානම වැඩි වීම.
  • වකුගඩු වලට හානි වීම 
  • රුධිරයේ සීනි මට්ටම ඉතා අඩු වීම හෝ වැඩි වීම මගින් කොමා තත්වය ඇති වීම.


මේ දක්වා සදහන් කල කරුණු අනුව නම් ඕනෑම අයෙකුට දියවැඩියාව ගැන අධික බියක් ඇති වීම සාමන්‍යය. නමුත් එහි වාසියක් මෙන්ම අවසියක්ද ඇත. ඇතැම් රෝගීන් රෝගයට ඇති බිය නිසාම වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින අතර ඖෂධ නිසි පරිදි ලබා ගැනීමෙන් රෝගය පාලනය කර ගනී. නමුත් ඇතැම් රෝගීන් මෙම බිය නිසාම බොහෝ විට වෛද්‍ය උපදෙස් පිලිපදිනු වෙනුවට රෝගය නොසලකා හැරීමෙන් ඉහත සදහන් සංකුලතා ඇති වීමේ අවදානම ඉහළ නංවා ගනී.

ඉතින් දියවැඩියාව ඇත්තටම යකෙක්ද? අපි එකට බය වෙන්න ඕනෙද?


සරලම පිළිතුර දියවැඩියාවට බිය විය යුතු නැත. නමුත් සංකුලතා ඔව් පැහැදිලිවම අප බිය විය යුතුයි.

දියවැඩියා රෝගයේ ගැන තවත් කරුණු කීපයක් සදහන් කරනවානම්,


දියවැඩියා රෝගය බොහෝ රෝගීන් තුල හදුනාගැනීමට පෙර වසර ගනනාවක් නිදන්ගතව පැවතිය හැක. බොහෝවිට රෝගය හදුනා ගන්නා විට සංකුලතා ඇති වී පවතී. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම්තවමත්  දියවැඩියාව සුව කල නොහැකි රෝගයකි නමුත් ජාන තාක්ෂනය මුලික සෛල (Stem Cells ) පිළිබද කෙරෙන පරීක්ෂණ වලට අනුව නිවාරණ ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඇති ඉඩ කඩද බැහැර කල නොහැක (ඉදිරි ලිපි මගින් වෛද්‍ය විද්‍යාවේ අනාගත සොයා ගැනීම් පිලිබදව ඉදිරියට සලකා බලමු). නමුත් මෙහිදී අප දැන් සැලකිය යුතු වැදගත්ම කරුණ වන්නේ වර්තමාන ප්‍රතිකාර සමග දියවැඩියා රෝගීන්ට සංකුලතා ඇති වීමකින් තෝරම බොහෝදුරට සාමාන්‍ය ජිවිතයක් ගත කල හැක. ඇතැම් රෝගීන් දියවැඩියා සදහා නිර්දේශ කරන ඖෂධ ගැන සැක සංකා පහල කලත් මේ වන විට වසර 20 – 30 මෙම ප්‍රතිකාර මගින් නිරෝගී ජිවිත ගත කරන පුද්ගලයන් වර්තමානයේ දැකගත හැක.



සරලව ගතහොත් දියවැඩියාව යනු සුවකළ නොහැකි රෝගයක් වුවත් නිසි කල හදුනා ගැනීමෙන් නිසි වෛද්‍ය උපදෙස් පිලිපැදීමෙන් සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාර්ථකව පාලනය කරගත හැකි රෝගයක් වන අතර, සංකුලතා ඇති වීමකින් තොරව හොද ජිවන මට්ටමක් ලගා කර ගත හැක. එම නිසා ඔබ කිසි විටෙක දියවැඩියාවට බිය නොවිය යුතු අතර නිසි කල හදුනා ගැනීම, රෝගය පිළිබද අවබෝධ කර ගැනීමත්, නිසි වෛද්‍ය උපදෙස් පිලිපැදීම සහ නිසි ප්‍රතිකාර ගැනීමෙන් සාර්ථක ජීවතයක් ලගා කර ගත හැක.

“Prevention is always better than cure -  රෝග වලක්වා ගැනීම සුවකිරීමට වැඩ සැම විටම උසස්ය.”


 වෛද්‍යවරයෙක්ට බොහෝ විට සිදු කිරීමට වන්නේ රෝග සුව කිරීමයි, නමුත් සැම විටම රෝගයක් ඕනෑම රෝගයක් වලක්වා ගැනීම සුව කිරීමට වඩා ඉතාමත් පහසුය. දියවදියවටත් මෙය ඉතාමත් පොදුය.. ඉතින් දියවැඩියාව වලක්වාගන්නේ කෙසේද? දියවැඩියාව වැළදීමට ප්‍රදනතම හේතුවක් වන්නේ වර්තමානයේ අප බොහෝ දෙනෙක් තුල පවතින අලස, ඒකාකාරී නුසුදුසු ජිවන රටාව (Sedentory Life style) සහ වැරදි අහාර පුරුදුය. එය ඉතාමත් පැහැදිලිය අතීතයේ අප මුතුන් මිත්තන් තුලු ඉතා විරල වූ මෙවන් රෝගී තත්වයන් අද ඉතාමත්ම බහුලය එය අපගේ පවතී ස්වභාවදර්මය සමග බැදී පැවතුනු ස්වභාවික ජිවන රටාවවෙන් වෙනස් වීම සහ නාගරික බටහිර ජිවන රටාවකට හුරු වීම සමග සමාන්තරව වර්ධනය වීමක් දැකගත හැක.


ඉතින් ඔබත් මෙම රෝගය වලක්වා ගැනීමට සිතනවා නම් ඔබට කල හැකි ද කුමක්ද?


  • නිතිපතා ව්‍යායාම කිරීම (සතියකට දින තුනක් පහක් අතර අවම වශයෙන් පැය ½  ක් බැගින් හොදින් දහදිය පිටවන පරිදි )
  • සමබර අහාර වේලක් ගැනීමෙන් හා නඅධික සීනි, පැණි, තෙල් සහ ලුණු අධික අහාර නිතර පරිභෝජනයෙන් වැලකීම සහ කුඩා දරුවන්ද එවැනි අහාර වලට හුරු කිරීමෙන් වැලකීම 
  • සිරුරේ නිසි බර පවත්වා ගැනීම (උසට සහ වයසට සරිල නිසි බර පිළිබද ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න)
  • දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් වැළකීම. 

අපගේ මෙම පළමු ලිපිය මගින් බලාපොරොත්තු වුයේ දියවැඩියා රෝගය ගැන සරල හැදින්වීමක් සහ වලක්වා ගන්නා අකාරය පිළිබද ඔබට අවබෝධයක් ලබා දීමයි. ඉදිරි ලිපි මගින් දියවැඩියා රෝගය හදුනා ගන්නා ආකාරය, වෛද්‍ය පරීක්ෂණ පිළිබද නිසි අවබෝධයක් ලබා ගැනීම, දියවැඩියාව සදහා වන ප්‍රතිකාර, නිවැරදි අහාර පුරුදු වැනි  වැදගත් වන්නා වූ තොරතුරැ පිළිබද සාකච්චා කරමු.

මුලාශ්‍ර : රාගම වෛද්‍ය පිඨය මගින් ප්‍රකාශයට පත් කල “වෙද විදු දැනුමයි සුවබර දිවියයි” කෘතියේ මහාචර්ය අර්ජුන පී. ද සිල්වා විසින් රචිත දියවැඩියාව පිළිබද ලිපිය

Kumar & Clark Clinical Medicine (7th Edition)

http://www.idf.org/membership/sea/sri-lanka






රවී අබේරත්න
වෛද්‍ය පීඨය
රාගම 

0 comments:

Post a Comment