IPL ක්‍රීඩක වෙන්දේසිය 2017


ලෝකයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලීග අතරින් වඩාත්ම ජනප්‍රිය ලීගය ලෙස ඉන්දියන් ප්‍රිමියර් ලීගය (IPL) හැදින්විය හැක. ඉන්දියන් ප්‍රිමියර් ලීගය 2008 වසරේදී ආරම්භ වූ අතර මෙවර පැවැත්වෙන්නේ එහි 10 වන අදියරයි. සෑම වසරකම ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන නමුත් සෑම වසර තුනකට වරක් ක්‍රීඩක වෙන්දේසිය වඩාත් උත්කර්ෂවත් ලෙසින් පවත්වයි. එයට හේතුව වන්නේ බොහෝ ක්‍රීඩකයින්ගේ ගිවිසුම් කාලය වසර 3ක් වීම නිසාය. ඒ අනුව 2008, 2011 සහ 2014 වසරවලදී ක්‍රීඩක වෙන්දේසිය වඩාත් උත්කර්ෂවත්ව පවත්වනු ලැබීය. ඒ අනුව මෙවර (2017) පවත්වන ලද ක්‍රීඩක වෙන්දෙසියත් එවැනිම උත්කර්ෂවත් එකක් වීය. පසුගිය පෙබරවාරි 20 වන දින බැංගලෝරයේදී පවත්වන ලද ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවනු ලැබුවේ සුපිරි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රිචර්ඩ් මැඩ්ලේ විසිනි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ලොව නන්දෙසින් ක්‍රීඩකයින් 750ක් අයදුම්කර තිබූ අතර එයින් සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් 351 දෙනෙක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කරනු ලැබීය. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී එක් කණ්ඩායමකට වියදම් කළහැකි උපරිම මුදල ඉන්දියන් රුපියල් කෝටි 66ක් වූ අතර තමන්ගේ කණ්ඩායමේ සිටින ඕනෑම ක්‍රීඩකයින් සංක්‍යාවක් වෙන්දේසියට ඉදිරිපත් නොකර කණ්ඩායමේ තබා ගැනීමටද අවසර තිබුණි. (2011 දී වෙන්දේසියට ඉදිරිපත් නොකර තබාගැනීමට අවසර ලැබුනේ ක්‍රීඩකයින් 4 දෙනෙක් පමණක් වන අතර 2014 දී එය 5ක් විය.) එයට හේතුව ලෙස සදහන් කල හැකි වන්නේ සමහර ප්‍රවෘත්ති වලට අනුව 2018 වසරේදී සියලුම කණ්ඩායම් වල සියලුම ක්‍රීඩකයින් නැවත මුල සිට වෙන්දෙසියකට යොමු කිරීමට සූදානම් වන නිසා මෙලෙස ඕනෑම ක්‍රීඩකයින් සංක්‍යාවක් තමුන් සන්තකයේ තබාගැනීමට කණ්ඩායම් වලට අවසර ලැබී ඇති බවය. ඒ අනුව එක් දිනයක් පුරාවට පැවති උණුසුම් වෙන්දේසියකින් අනතුරුව ක්‍රීඩකයින් 75 දෙනෙක් වෙන්දේසියේදී අළෙවි විය.


මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලකට අළෙවි වූ ක්‍රීඩකයින් 10 


1. Ben Stokes - ඉ.රු. කෝටි 14.5 (RPS)




බෙන් ස්ටොක්ස්
Photo Credit - Facebook.com/BenStokes

එංගලන්තයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ව ඉන්දියානු රුපියක් කෝටි 14.5කට මිලදී ගැනීමට රයිසින්ග් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම් කටයුතු කරනු ලැබීය. මෙය ස්ටෝක්ස්ගේ ප්‍රථම IPL අත්දැකීම වනු ඇත. වෙන්දේසියට පෙර සිටම ස්ටොක්ස් විශාල මුදලකට අළෙවි වනු ඇතැයි විචාරකයින් මත පලකරනු ලැබූ අතර එය ඒ අයුරින්ම සිදුවිය. කණ්ඩායම් කිහිපයක්ම ස්ටෝක්ස්ව තම කණ්ඩායමට එකතුකරගනීමට සටනක් ලබාදුන් නමුත් පූනේ කණ්ඩායමේ ලංසුව අභිභවා යාමට වෙනත් කිසිදු ලංසුවකට නොහැකි විය.


2. Tymal Mills - ඉ.රු කෝටි 12 (RCB)

24 හැවිරිදි එංගලන්තයේ ටිමල් මිල්ස් ඉන්දියන් රුපියල් කෝටි 12කට මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය. පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයකින් පන්දු යැවිය හැකි මිල්ස් නිමාවූ ඉන්දීය-එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් වඩාත්ම සාර්ථකව පන්දු යැවූ ක්‍රීඩකයා ලෙසින් සදහන් කල හැක. වේගයට අමතරව වේගය අඩාල කර හොදින් පන්දු යැවීමට හැකිවීම මිල්ස්ගේ තවත් එක් විශේෂත්වයකි. පසුගිය වසර කිහිපයේදීම බැංගලෝර් කණ්ඩායම නියෝජනය කල මිචෙල් ස්ටාර්ක් වෙනුවට මිල්ස්ව මිලදී ගත්තද, එය ස්ටාර්ක් වෙනුවට හොද ආදේශනයක් වේද යන්න ප්‍රශ්නාර්ථ මතුවෙමින් පවතී. ක්‍රිස් වෝක්ස් හෝ පැට්‍රික් කමින්ස් දෙදෙනාගෙන් කෙනෙකු බැංගලෝර් කණ්ඩායමට වඩාත් ගැලපෙනු ඇතැයි සිතිය හැක. කෙසේ වෙතත් මිල්ස් ක්‍රීඩා කරන ආකාරය පිළිබද සියල්ලන්ම උනන්දුවෙන් බලා සිටිති.


3. Trent Boult - ඉ.රු. කෝටි 5 (KKR)

නවසීලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බොල්ට් ඉන්දියන් රුපියල් කෝටි 5කට මිලදී ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. කඩුලු දවාගැනීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස සදහන් කල හැකි බොල්ට් කල්කටා කණ්ඩායමට හොද එකතුවක් වනු ඇත.


4. Kagiso Rabada - ඉ.රු. කෝටි 5 (DD)

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා තම කණ්ඩායමට එකතු කරගැනීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමත්විය. රබාඩා ද කඩුලු ලබාගත හැකි ක්‍රීඩකයෙක් වන අතර වේගයෙන් පන්දු යැවීමටද සමත් ක්‍රීඩකයෙකි. දිල්ලි කණ්ඩායමට රබාඩා හොද ආයෝජනයකි.


5. Pat Cummins - ඉ.රු. කෝටි 4.5 (DD) 


පැට් කමින්ස්
Photo Credit - Facebook.com/ PatCummins

ඉතාමත්ම නිවැරදි ක්‍රීඩකයින් තෝරාගැනීමක් ලෙස සදහන් කල හැක. 23 වැනි වියේ පසුවන කමින්ස් පසුගිය බිග් බෑෂ් තරගාවලියේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද තම දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් විය. කෙසේනමුත් දිල්ලි කණ්ඩායමේ සංයුතිය දෙස බලන විට රබාඩා සහ කමින්ස්ට එකවර තරග කිරීමට ඇති ඉඩකඩ අඩු වුවත් මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මිලදී ගැනීම කිසිම අයුරකින් මුදල් නාස්තියක් නොවන බව සිතේ.


6. Chris Woakes - ඉ.රු. කෝටි 4.2 (KKR)



ක්‍රිස් වෝක්ස්
Photo Credit - Facebook.com/ChrisWoakes

එංගලන්තයේ ක්‍රිස් වෝක්ස්ගේ පළමු IPL අත්දැකීම මෙය වන අතර නිමාවූ ඉන්දීය- එංගලන්ත එක්දින තරගාවලියේදී වඩාත් හොදින් දස්කම් දැක්වීමට වෝක්ස් ට හැකිවිය. පිතිකරුවෙකු ලෙසද තම දක්ෂතා දිනෙන් දින වර්ධනය කරගන්නා වෝක්ස්, විස්සයි විස්ස තරගවලදී වැදගත් වන තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ භූමිකාවට පණ පෙවීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස සදහන් කල හැක. කල්කටා කණ්ඩායම නියෝජනය කල අන්ද්‍රේ රසල් ට වසරක ක්‍රිකට් තහනමක් පනවා තිබීම (ඇපෑලක් ඉදිරිපත් කර තිබේ) නිසා කල්කටා කණ්ඩායමට වෝක්ස් වැනි ක්‍රීඩකයෙකු අත්‍යවශ්‍ය වී තිබූ අතර ඒ අනුව විශාල මුදලකට වෝක්ස් මිලදී ගැනීමට කල්කටා කණ්ඩායම කටයුතු කරනු ලැබීය.


7. Rashid Khan - ඉ.රු. කෝටි 4 (SRH)

18 හැවිරිදි ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් ඉන්දියානු රුපියල් කෝටි 4ක දැවැන්ත මුදලකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය. එතෙක් මෙතෙක් පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් වෙන්දේසියකදී, ටෙස්ට් වරම් හිමි නොවූ රටක ක්‍රීඩකයෙකු වෙන්දේසි වූ වැඩිම මුදල ලෙස මෙය සැලකිය හැක. පා දඟ පන්දු යවන්නෙක් වන රෂීඩ් ඛාන් පිතිකරණයෙන්ද සැලකිව යුතු දස්කම් පෙන්වන ක්‍රීඩකයෙකි.


8. Nathan Coulter-Nile - ඉ.රු. කෝටි 3.5 (KKR) 

පසුගිය වසර කිහිපයේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල කෝටර්-නයිල් මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට දිල්ලි කණ්ඩායම කටයුතු කර තිබුණි. එයට ආසන්නම හේතුව ලෙස සදහන් කල හැකි වන්නේ ඔහුගේ ආබාධ තත්වයයි. කෙසේනමුත් කෝටර්-නයිල්ව තම කණ්ඩායමට එක් කරගැනීමට කල්කටා කණ්ඩායම කටයුතු කරන ලදී. විස්සයි විස්ස තරග රටාවට ගැලපෙන ක්‍රීඩකයෙකු වන කෝටර්-නයිල් ට වේගයෙන් පන්දු යැවීමටත් පිත්තෙන් යමක් කිරීමටත් හැකිය. ඊට අමතරව ඔහු හොද පන්දු රකින්නෙකු ලෙසද හැදින්විය හැක.


9. karn Sharma - ඉ.රු.කෝටි 3.2 (MI)

කරන් ෂර්මා
Photo Credit - Facebook.com/Karn Sharma

2013 වසරේදී තම ප්‍රථම IPL තරගාවලියට ක්‍රීඩා කල කරන් ශර්මා එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉතා හොද දස්කම් දැක්වීමට සමත්විය. ඉන්පසුව 2014 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී, ජාත්‍යාන්තර වරම් හිමිකරගෙන නොතිබූ ක්‍රීඩකයින් අතරින් වැඩිම මුදලකට අළෙවි වූ ක්‍රීඩකයා බවට පත්විය. පසුගිය IPL තරගාවලියේදී දස්කම් අතරට පැමිණීමට තුන් ඉරියව් ක්‍රීඩක ශර්මාට නොහැකි වුවත් ඔහු පිලිබදව බොහෝ කණ්ඩායම් විශ්වාසය තබා ඇති බවනම් ක්‍රීඩක වෙන්දේසියේදී මනාව පැහැදිලි විය. ඒ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලකට අළෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වීමට ශර්මාට අවකාශය ලැබුණි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශර්මාව තම කණ්ඩායම සතු කරගන්නා ලදී.


10. T.Natarajan - ඉ.රු.කෝටි 3 (Punjab)

නිමාවූ තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ද්‍රගන්ස් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ නටරාජන්ට වේගයෙන් පන්දු යැවීමට හැකිය. තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග 7කදී කඩුලු 10ක් බිඳහෙලූ නටරාජන් රන්ජි කුසලානයේදී තමිල්නාඩු කණ්ඩායම නියෝජනය කරයි. වෙන්දේසියේදී ඔහුගේ අවම ලංසුව ලෙස ඉන්දියානු රුපියල් ලක්ෂ 30ක් සදහන් වී තිබුනත් අවසානයේදී නටරාජන් අළෙවි වූයේ එවැනි දස ගුණයක් විශාල මුදලකටයි.




මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී අළෙවි වූ සියලුම ක්‍රීඩකයින්



සන්රයිසස් හයිද්‍රාබාද් -
ටන්මේ අගර්වාල් (ලක්ෂ 10), මොහොමඩ් නබි (ලක්ෂ 30), එක්ලව්‍යා ද්විවේදී (ලක්ෂ 75), රෂීඩ් ඛාන් (කෝටි 4), ප්‍රවීන් තම්බේ (ලක්ෂ 10), ක්‍රිස් ජෝර්ඩන් (ලක්ෂ 50), බෙන් ලෆ්ලින් (ලක්ෂ 30), මොහොමඩ් සිරාජ් (කෝටි 2.6)


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් -
පවන් නෙගී (කෝටි 1), ටිමල් මිල්ස් (කෝටි 12), අනිකත් චෞද්‍රී (කෝටි 2), ප්‍රවීන් දුබේ (ලක්ෂ 10), බිලී ස්ටෑන්ලේක් (ලක්ෂ 30)


රයිසින්ග් පූනේ සුපර්ජයන්ට්ස් -
බෙන් ස්ටොක්ස් (කෝටි 14.5), ජයිදේව් උනාඩ්කට් (ලක්ෂ 30), රාහුල් චහාර් (ලක්ෂ 10), සෞරබ් කුමාර් (ලක්ෂ 10), ඩැනියෙල් ක්‍රිස්ටියන් (කෝටි 1), මිලින්ඩ් තන්ඩන් (ලක්ෂ 10), R.ත්‍රීපති (ලක්ෂ 10), මනෝජ් තිවාරි (ලක්ෂ 50), ලොකී ෆර්ගසන් (ලක්ෂ 50)


ගුජරාට් ලයන්ස් -
නතු සිං (ලක්ෂ 50), බැසිල් තම්පි (ලක්ෂ 85), තේජාස් සිං බරෝකා (ලක්ෂ 10), මන්ප්‍රීට් ගෝනි (ලක්ෂ 60), ජේසන් රෝයි (කෝටි 1), මුනාෆ් පටෙල් (ලක්ෂ 30), චිරාග් සූරී (ලක්ෂ 10), ෂෙලී ශෞර්යා (ලක්ෂ 10), සුභම් අගර්වාල් (ලක්ෂ 10), ප්‍රතම් සිං (ලක්ෂ 10), අක්ෂ් දීප් නාත් (ලක්ෂ 10)


කල්කටා නයිට් රයිඩර්ස් -
ට්‍රෙන්ට් බොල්ට් (කෝටි 5), ක්‍රිස් වෝක්ස් (කෝටි 4.2), රිශී ධවාන් (ලක්ෂ 55), නේදන් කෝටර්-නයිල් (කෝටි 3.5), රුමන් පවෙල් (ලක්ෂ 30), R.සන්ජේ යාදව් (ලක්ෂ 10), ඉශාන්ක් ජග්ගි (ලක්ෂ 10), ඩරන් බ්‍රාවෝ (ලක්ෂ 50), සයන් ගෝෂ් (ලක්ෂ 10)


මුම්බායි ඉන්දියන්ස් -
නිකලස් පූරන් (ලක්ෂ 30), මිචෙල් ජොන්සන් (කෝටි 2), K.ගෞතම් (කෝටි 2), කරන් ශර්මා (කෝටි 3.2), සෞරබ් තිවාරි (ලක්ෂ 30), අසේල ගුණරත්න (ලක්ෂ 30), K.කෙජ්රෝලියා (ලක්ෂ 10)


දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් -
ඇන්ජෙලෝ මැතිව්ස් (කෝටි 2), කෝරේ ඇන්ඩර්සන් (කෝටි 1), කගීසෝ රබාඩා (කෝටි 5), පැට් කමිස (කෝටි 4.5), අන්කිත් බව්නේ (ලක්ෂ 10), ආදිත්‍ය තාරේ (ලක්ෂ 25), මුරුගන් අශ්වින් (කෝටි 1), නව්දීප් සයිනි (ලක්ෂ 10), ශෂන්ක් සිං (ලක්ෂ 10)


කිංග්ස් xi පන්ජාබ් -
ඔයින් මෝර්ගන් (කෝටි 2), රාහුල් තෙවාටියා (ලක්ෂ 25), T.නටරාජන් (කෝටි 3), මැට් හෙන්රි (ලක්ෂ 50), වරුන් ආරොන් (කෝටි 2.8), මාටින් ගප්ටිල් (ලක්ෂ 50), ඩරන් සැමී (ලක්ෂ 30), රින්කු සිං (ලක්ෂ 10)








About Author:

චමත් දිල්ෂික

0 comments:

Post a Comment