මොකක්ද මේ RIT Act එක කියන්නෙ ??







මේ දිනවලදී නිතරම ඔබේ දෙසවනට ඇසෙන වචන කිහිපයක් ලෙස තොරතුරැ දැනගැනීමේ අයිතිය,  RIT Act දැක්විය හැකිය. නමුත් මේ පිළිබඳව ඔබ සැබවින්ම දැනුවත්ද??


1978 ශ්‍රී ලංකා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් මුලික අයිතිවාසිකම් පරිච්ඡෙදයේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පිළිගනු ලබන භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හා අන්‍යෝන්‍ය ලෙස බැදුණක් ලෙස තොරතුරැ දැනගැනීමේ අයිතිය සලකයි.

එනම් මෙරට මුලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළ මෙය ප්‍රකාශිතව දක්වා නොමැති වුවත් යමෙකුට යමක් ප්‍රකාශ කිරීමට නිදහසක් පවතීනම් තවකෙකුට එම ප්‍රකාශ කරන දෑ හෙවත් එම තොරතුර දැනගැනීමට ද නිදහසක් පැවතිය යුතුය යන අර්ථයෙන් මෙම අයිතීන් ද්විත්වය අන්‍යෝන්‍ය වශෙයන් බැදුණු අයිතීන් ද්විත්වයක් ලෙස සලකයි.

විශේෂයෙන්ම දැනුම පිපාසිත යුගයක සිටින තැනැත්තන් විෂයේලා තොරතුරැ ගවේෂණයේ නිදහස මෙන්ම නිතර සාකච්ඡා වන මාධ්‍ය නිදහස තහවුරැ කිරීමේලා මෙම අයිතිය සුරක්ෂිත කිරීම දැඩිව බලපාන්නකි.
මෙම අයිතිය තහවුරැ වීම තුළ හුදෙක් මහජනයාට තොරතුරැ දැන ගැනීමට වන අයිතිය පමණක් තහවුරැ නොකරයි. එනම් තොරතුරැ මහජනයාට නිරාවරණය කිරීමට හැකිවන ආකාරයේ නිසි වගකීමෙන් විනිවිද ලෙස කටයුතු කරන ආයතනික රාමුවක් හා නිළධාරීන් පිරිසක් බිහි කිරීම තුළ යහපාලන හා ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයන් තහවුරැ කිරීමට මෙම අයිතිය බලාත්මක වීම හේතු වේ.


2016 අගෝස්තු මස මෙරට පාර්ලිමේන්තුව තුළ සම්මත වූ 2016 අංක 12 දරණ තොරතුරැ දැනගැනීමේ පනත ඉන් මාස 06කට  පසුව 2017 පෙබරවාරි 03 දින සිට බලාත්මක විය. පනතින් අවධානය යොමු කර ඇති ප්‍රධාන ක්ෂේත්‍රයන් නම් පුද්ගලයන්හට තොරතුරැ දැනගැනීමට වන අයිතිය බලාත්මක කිරීම හා ඒ සඳහා යාන්ත්‍රනයක් නිර්මාණය කිරීම, තොරතුරැ ස‍‍‍‍ඳහා ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කළහැකි අවස්ථාවන් නිශ්චිතව දැක්වීම, තොරතුරැ නිළධාරීන් පත් කිරීම හා තොරතුරැ දැනගැනීමේ කොමිෂන් සභාවක් පත් කිරීමයි.

1). RIT Act යටතේ ඔබට දැනගත හැකි “තොරතුරැ“ මොනවාද?

පනතේ අර්ථ නිරෑපණ වගන්ති ප්‍රකාරව (43 වගන්තිය)


  • රජයේ ආමාත්‍යාංශ , රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා
  • ව්‍යවස්ථාපිත ආයතනවල
  • පළාත් පාලන ආයතනවල
  • රාජ්‍ය නොවන සංවිධානවල
  • පුද්ගලික විශ්වවිද්‍යාල
  • උසස් අධ්‍යාපන ආයතන
  • අධිකරණමය ආයතනවලට අදාළව 


සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරැ වන ලිපි, නීති කෙටුම්පත්, පනත්, පිඹුරැ, සිතියම්, චිත්‍ර, රෑප සටහන්, ඡායාරෑප, සේයා පට, ශබ්ද පටිගත කිරීම්, විඩියෝ පට, යන්ත්‍ර මඟින් කියවිය හැකි වාර්තා, පරිගණක වාර්තා හා වෙනත් ලේඛනගත ද්‍රව්‍ය එහි භෞතික ස්වභාවය නොසලකා ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ හැකියාව මහජනයා වෙත පවතී.


ඒ අනූව ඉහතින් දැක්වු පොදු අධිකාරීන්ට අදාළ වැඩ, ලේඛන, වාර්තා අධීක්ෂණයට, ඉහත සඳහන් දෑවලට අදාලව උද්ධෘත හෝ සහතික පිටපත් ලබා ගැනීමට හා තොරතුරැ පරිඝනක ගත කර ඇති නම් ඩිස්කට්, ෆ්ලොපි ආදි විද්‍යුත් ක්‍රමයකට හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරැ ලබා ගැනීමට හැකියාව ඇත.


2). ඔබට ප්‍රවේශ විය නොහැකි තොරතුරැ මොනවාද?

පනතේ දෙවන කොටස 05 (1) වගන්තිය දක්වන පරිදි

අ). පුද්ගලික තොරතුරැ ( එසේ නමුත් අදාළ තොරතුර හෙළි කිරීම විශාල වශයෙන් මහජන සුභසෙත සඳහා හේතුවේනම් හෝ අදාළ තොරතුරැ හෙළිදරව් කිරීමට එම තැනැත්තා කැමැත්ත පළ කරඇතිනම් එම තොරතුරැ දැන ගත හැකිය)

ආ).  රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ තොරතුරැ, හෙළි දරව් කළහොත් ලංකා රජයට අගතිදායි වියහැකි විදේශ හෝ අන්තර් ජාතික නීතිය යටතේ එළැඹි ගිවිසුම් හෝ බැඳීම් පිළිබඳ තොරතුරැ, විනිමය අනුප්‍රමාණ, විදේශ හුවමාරැ ගනුදෙනු පාලනය කිරීම පිළිබඳ තොරතුරැ, බදු පැනවීමට අදාළ තොරතුරැ, භාණ්ඩ හා සේවා මිල ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳ තොරතුරැ, විදේශ වෙළද ගිවිසුම්වලට ඇතුළත්වීම් පිළිබඳ තොරතුරැ

ඈ). 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ ආරක්ෂා කර ඇති වෙළද රහස්, බුද්ධිමය දේපල පිළිබඳ තොරතුරැ ( නමුත් තුන්වන පාර්ශවයක තරඟකාරීත්වයට අහිතකර ලෙස බලපායි නම් හෙළි කල හැකිය)

ඉ).  යමෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා (අදාළ තැනැත්තා ලිඛිත අවසරය දී ඇත්නම් හෙළිදරව් කල හැක)

ඊ). ලිඛිත නීතියක් මඟින් හෙළිදරව් කිරීමට අවසර දී නොමැති, වෘත්තිකයන් විසින් සේවා සපයනු ලබන පොදු අධිකාරියක් හා අතර පවතින සන්නිවේදනයන්

උ). භාරකාර සම්බන්ධතාවයක් පැවැත්වීම මත රහසිගතව තබා ගැනීමට වන තොරතුරැ

ඌ). තොරතුරැ හෙළි කිරීම යම් අපරාධයක් වැළැක්වීමට හෝ ඒ පිළිබඳ සොයා ගැනීමට බාධාවක් විටක, වැරදිකරැවන් අල්ලා ගැනීමට හෝ ඔවුන්ට විරැද්ධව නඩු පැවරීමට අගතිදායක වන විට හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරක් නම් අදාළ තොරතුරැවල රහසිගත මුලාශ්‍රය හෙළි වනවිටක

ඒ) තොරතුරැ හෙළි කිරීම නිසා අධිකරණයට අපහාසයක් වන විටදී හෝ අධිකරණයේ බලය හා අපක්ෂපාති බව පවත්වාගෙන යාමට අගතිදායි ලෙස බලපාන විට

ඔ). තොරතුරැ හෙළි කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද හෝ පළාත් සභා වරප්‍රසාද උල්ලංඝණයක් සිදු වන විටකදී

ඕ). විභාග දෙපාර්තමේන්තුව හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක් විසින්පවත්වන ලද යම් විභාගයකට අදාළව රහසිගතව තබා ගත යුතු තොරතුරැ

ක). තවමත් අවසන් තීරණයකට එළෙඹ නොමැති ආමාත්‍ය මණ්ඩල සංදේශ සම්බන්ධයෙන්

ග). මැතිවරණ නීති මඟින් රහසිගත තොරතුරැ ලෙස තැබීමට නියමිත කර ඇති මැතිවරණයකට සම්බන්ධ තොරතුරැ

කෙසේ නමුත් 5(2) වගන්තිය මඟින් උක්ත අවස්ථාවන්ට ව්‍යතිරේඛි අවස්ථාවක් නිර්මාණය කර ඇත.


එනම් 5 (1) යටතේ දක්වා ඇති  (අ), (ආ), (ඈ), (ඉ), (ඊ), (උ), (ඌ), (ඒ)ඇති අවස්ථාවන් හැර අනෙක් ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් වන යම් තොරතුරක් අවුරැදු 10කට වඩා පැරණි නම් එවන් තොරතුරක් ලබා ගැනීමට කරන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

මෙහිදී වැදගත් වනුයේ වසර 10ක් පිරැණද අවසන් කර නොමැති විදේශ ගිවිසුම් සම්බන්ධයෙන් වන තොරතුරැ හෙළි දරව් කළ නොහැකි බවට පනතේ 5(3) වගන්තිය යටතේ පැහැදිලිව ප්‍රකාශ කර ඇත.


3). කවුද මේ “තොරතුරැ නිළධාරීන්“ කියන්නේ?


පනතේ 23 (1) වගන්ති ප්‍රකාරව මහජනයා විසින් කරන තොරතුරැ සම්බන්ධ ඉල්ලීම් යොමු කළ යුත්තේ මොවුන් වෙතය. එක් එක් පොදු අධිකාරියට අදාළව තොරතුරැ නිළධාරීන් එක් අයකු හෝ කිහිප දෙනෙකු පත් කළ යුතුය. මහජනයාගේ තොරතුරැ ඉල්ලීම් වෙත සහාය දැක්වීම හා ප්‍රතිචාර දැක්වීම මොවුන්ගේ කාර්යයභාර්යය වේ.


4). මොකක්ද මේ “තොරතුරැ දැන ගැනීමේ කොමිෂන් සභාව“ කියන්නේ?

මෙය සංස්ථාපිත මණ්ඩලයක් වන අතර කොමිෂමේ නාමයෙන් නඩු පැවරීමට හා එයට විරැද්ධව නඩු පැවරීමේ හැකියාව පවතී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් 05 දෙනෙකුගෙන් කොමිෂන් සභාව සමන්විත වේ.

පනතේ 14 වගන්තිය යටතේ කොමිෂන් සභාව සතු කාර්යයන් හා 15 වගන්තිය යටතේ එහි බලතල දක්වයි. ඒ අනුව මෙහි ප්‍රධාන කාර්යය බවට පත් වන්නේ පොදු අධිකාරීන් වෙත පවරා ඇති කාර්යයන් නිසි ලෙස ඉටු කරන්නේද යන්න අධීක්ෂණය කිරීම හා ක්‍රියාත්මක වීම සඳහා අවැසි මාර්ගෝපදේශ සැපයීමයි.





5). මහජනතාවට තොරතුරැ සැපයීම පිළිබඳ පොදු අධිකාරීන් වෙත වගකීමක් පවරා තිබේද?

ඔව්. මෙහිදි පොදු අධිකාරීන් වෙත මහජනතාව විසින් ඉල්ලා සිටින තොරතුරැ සැපයීමට වගකීමක් පවරා ඇති සේම එසේ නිකුත් කරන තොරතුරැ පිළිබඳව පනත යටතේ පිහිටුවන තොරතුරැ දැනගැනීමේ කොමිෂන් සභාව වෙත දැනුවත් කිරීමේ වගකීමක් ද පවරා ඇත.


මීට අමතරව 26 වගන්ති ප්‍රකාරව ඒ ඒ පොදු අධිකාරිය තුල පත් කර ඇති තොරතුරැ නිළධාරීන් පිළිබඳ විස්තර, ඔවුන් හා සම්බන්ධ වීමට අදාළ විස්තර, කොමිෂන් සභාව පිළිබඳ විස්තර හා ඒ හා සම්බන්ධ වීමේ විස්තර මෙන්ම අදාළ පොදු අධිකාරියෙන් තොරතුරක් ලබා ගැනීමට අදාළව අය කරනු ලබන ගාස්තු පිළිබඳව කාර්යාල පරිශ්‍රය තුළ මහජනයාට ප්‍රකටව පෙනෙන පරිදි දැක්වීම හෝ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම කළ යුතු බවට දක්වා ඇත.


6). පොදු අධිකාරියකින් ඔබට අවැසි තොරතුරක් ලබා ගන්නේ කෙසේද?

පළමුවෙන්ම ඔබ විසින් අදාළ පොදු අධිකාරිය වෙත ඉල්ලා සිටින තොරතුර කුමක්ද යන්න නිශ්චිතව දක්වමින් ඉල්ලීමක් ලිඛිතව අදාළ ආයතනය විසින් පත් කර ඇති තොරතුරැ නිළාරියා වෙත කළයුතුය. එහිදි ලිඛිතව නොවී වාචිකව වුවද එම ඉල්ලීම සිදු කළහැකි අතර තොරතුරැ නිළධාරියා විසින් එය සටහන් කර ගැනීම සිදු කරයි.

මෙසේ ඉල්ලීමක් කර ඇති විටදී නිශ්චය කරනු ලැබූ ගාස්තු ගෙවීම්වලට යටත්ව දින 14 ඇතුළත තොරතුරැ සැපයීම හෝ 05 වගන්ති ප්‍රකාරව එය ප්‍රතික්ෂේප කිරීම පුරවැසියා වෙත සන්නිවේදනය කිරීම තොරතුරැ නිළධාරියා විසින් කළ යුතුය.

යම් හෙයකින් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද කිරීමට සිදු වේ නම් (දින 14 ඉක්මවා යයිනම්) ඒ පිළිබඳ හේතු ද සහිතව දින 21 ඇතුළතදී පුරවැසියා වෙත දැනුම්දීම කළ යුතුය. පුද්ගලයෙකුගේ ජිවිතය හා නිදහස සම්බන්ධයෙන් වන විටදී පැය 48ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීම කළ යුතු බවට පනතින් නියම කර තිබේ.

තොරතුරැ ලබා ගැනීම සඳහා වන ඉල්ලීමකට ඉඩ දීමට තීරණයක් ගෙන ඇති විට දී තොරතුරැ ඉල්ලා සිටින ආකෘතියෙන්ම ලබා දීම අදාළ ලේඛනයේ සුරක්ෂිතභාවයට හානි නොවෙන බවට තොරතුරැ නිළධාරියාගේ මතය වන විටදී තොරතුරැ ඉල්ලා සිටින  ආකෘතියෙන්ම ලබා දීමට නියම කළ හැකිය.


7). තොරතුරැ ලබා ගැනීම සඳහා ඔබ විසින් කරනු ලැබු ඉල්ලීමකට ප්‍රතිචාරයක් නැත්නම් මොකද කරන්නේ ඔබ?


මේ සම්බන්ධයෙන් පනතේ 31 වගන්තිය වැදගත් වේ. එනම් යම්හෙයකින් ඔබ විසින් කරන ලද තොරතුරැ ඉල්ලීමක්,

භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම

තොරතුරැ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම

පනතේ දක්වා ඇති කාල සීමාවන්ට අනුගත නොවීමකදී

අසම්පුර්ණ හෝ සාවද්‍ය තොරතුරැ ප්‍රදානයක දී

වැඩිපුර ගාස්තු අය කිරීමක දී

ඉල්ලා සිටින ලද ආකෘතියෙන්ම තොරතුරැ ලබා නොදීමකදී

තොරතුරැවලට ප්‍රවේශ වීම වළක්වන පරිදි තොරතුරැ විකෘති කර හෝ විනාශ කර ඇති විටකදී

මෙකී කරැණක් දැන ගත් අවස්ථාවේ සිට දින 14 ඇතුළත දී තමාට සිදු වූ අගතිය සම්බන්ධයෙන් අභියාචනය කිරීමේ හැකියාව ඔබට ඇත.


8). කාටද අභියාචනය කල යුත්තේ?

එහිදි ඒ ඒ පොදු අධිකාරීන් විසින් තොරතුරැ නිළධාරීන්ට අමතරව පත් කරනු ලබන ‘අභියාචන නිළධාරියා‘ වෙත සිය අභියාචනය යොමු කිරීමේ හැකියාව ඔබට පවතී.

එසේත් නැතහොත් අදාළ කරැණ සම්බන්ධයෙන් පනත යටතේ පිහිටුවා ඇති කොමිෂන් සභාව වෙතට අභියාචනය කිරීමේ හැකියාව පවතී.


මෙහිදී මෙසේ ක්‍රියා කිරීමෙන් පසුවත් අතෘප්තියට පත් පාර්ශවයක් වේ නම් අභියාචනාධිකරණය වෙත යොමු වීමේ හැකියාව පවතී.

මේ ආකරයෙන් තොරතුරැ දැනගැනීමේ පනතේ වන ඔබට වැදගත් මුලික කරැණු ඉදිරිපත් කළ හැකිය. එහිදි පනත බලාත්මක වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම නොහොත් මහජනයා විසන් එය තම කාර්යයන් උදෙසා ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම වැදගත්ම කරැණ වේ. ඒ සඳහා පනත හා ඉන් ගත හැකි ඵලප්‍රයෝජන පිළිබඳව මහජනයා දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.


දකුණු ආසියාතික කලාපයේ ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය වැනි රටවල් RTI Act පැනවුයේ මීට දශකයටකටත් පමණ එපිටින්ය.  බංග්ලාදේශය විසින් 2009 වසරේදී පනත පැනවූ නමුත් මහජනයා විසින් එය සාර්ථක ලෙස භාවිත කිරීම ඇරඹීමට තවත් වසර 05ක් පමණ ගත වී ඇත. ඒ අනුව හුදෙක් පනත පැනවීම පමණක් ප්‍රමාණාත්මක නොවේ.


ලංකාව විසින් මෙම පනත බලාත්මක කිරීමත් සමඟ RIT Global Ranking හි තුන්වන ස්ථානයට මෙරට ඉහළට එසවිණි. නමුත් නියම ලෙස ප්‍රජාතාන්ත්‍රික හා යහපාලනය සනිටුහන් වීමට නම් පනත සක්‍රීය ලෙස මහජනයා වෙත සමීප කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් දැනුවත් සමාජයක් විසින් එය ප්‍රයෝජනයට ගැනීම පවත්නා අඩු ලුහුඞුකම් හැඳිනගැනීමට ද ඉවහල් වේ.

 වැදගත්ම කරැණ වනුයේ මහජනයා දැනුවත් කිරීම රජයේ කාර්යයක් පමණක් බවට පත් නොකොට මේ පිළිබඳ දැනුවත් වීම අපෙන් ද ඉටු විය යුතු කාර්යයක් ලෙස සැලකීමයි. මන්ද අධීකරණ භාවිතය තුළ පිළිගත් කරුණක් නම් තම අයිතීන් මත නිදා සිටින්නාහට එය බලාත්මක කර ගැනීමටද හැකියාවක් නොමැති යන්නයි.






පමෝදා මධුෂානි 
නීතිවේදී උපාධිධාරිනී 
කොළඹ විශ්ව විද්‍යාලය 

0 comments:

Post a Comment