ලෝකය වටේ

අප ජීවත් වන රටෙන් එහා ලෝකයේ බොහෝ දේ සිදු වෙමින් පැවතුනත් ලංකාවේ මාධ්‍ය ඒ සඳහා යොදවන අවදානය සාපේක්ෂව බොහොම අඩුයි. ඒ නිසා අප හිතුවා ඒ ගැනත් ටිකක් වැඩි අවධානයක් යොමු කරන්නට​. පසුගිය සති දෙක තුළ විදෙස් විත්ති අතුරින් වැදගත්ම යයි අප අදහස් කෙරෙන සිද්ධි කිහිපයක් දෙස හැරී බැලීමයි මෙම ලිපියේ අරමුණ​.
                                                    මාක් රුට් world economic forum




යුරෝපා සංගමය​

පසුගිය මාර්තු 15 වනදා නෙදර්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලැබුවා. මෙය කෙරෙහි විශේෂයෙන්ම යුරෝපයේ විශාල අවධානයක් යොමු ව පැවතුණා. ඊට හේතුව තමයි යුරෝපා සංගමයට එරෙහි ග්‍රීට් විල්ඩර්ස් නම් අන්ත දක්ෂිනාංශික දේශපාලකයාගේ නිදහස සඳහා පක් ෂය එම මැතිවරණය ජය ගැනීමට ඉඩක් පැවතීම​. බ්‍රිතාන්‍යයේ සිදු වූ ආකාරයට යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීමට විල්ඩර්ස් යෝජනා කරනවා.

කෙසේ වෙතත් අගමැති මාක් රුට්ට (Mark Rutte) ගේ පක්ෂය මෙම මැතිවරණයෙන් පෙරමුණ ගත් හෙයින් නෙදර්ලන්තය ද යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ අවදානම මග හැරුණා.


කෙසේ නමුත් ඉන් දින කිහිපයකට පසුව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ තම රට යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය මාර්තු 29 වනදා අරඹන බවයි. පසුගිය වසරේ ජූනි මාසයේ පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව එරට ජනතාව තීරණය කළ අතර එම ක්‍රියාවලිය පටන් ගැනෙන්නේ ලිස්බන් සම්මුතියේ 50 වන වගන්තිය ක්‍රියාවට නැගීම මගින්. මේ අනුව තවත් වසර දෙකකදී එම කටයුතු අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ අනුව 2019 මාර්තු පමණ වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්පූර්ණ වේවි.

මේ අතර ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් යළි වරක් ස්වාධීනතාව පිළිබඳ ජනමත විචාරණයක් පවත්වන්නට තීරණය කළා. මේ ජනමත විචාරණය කවර දිනෙක පැවැත්වේද යන්න තීරණය වනු ඇත්තේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ එකඟතාවයන් පැහැදිලි වූ පසුවයි. ඒ සඳහා 2018 වසර අවසාන භාගය තෙක් වත් සිටින්නට වේවි.



වෙස්ට්මින්ස්ටර් ත්‍රස්ත ප්‍රහාරය​


මේ අතර බ්‍රිතාන්‍යය මෙන්ම ලෝකය ම කළඹන්නට සමත් වූ සිදුවීමක් මාර්තු 22 වනදා ලන්ඩනයේදී සිදු වුණා. ඒ වෙස්ට්මින්ස්ටර් ත්‍රස්ත ප්‍රහාරයයි. මෙය සිදු වූයේ බ්‍රසල්ස් නගරයට ISIS සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් හරියටම වසරක් ගතවූ දිනයේ වීම විශේෂත්වයක් වුණා. වෙස්ට්මින්ස්ටර් පාළම මතින් සිය වාහනය පදවමින් පදිකයින් ඊට යට කරගෙන පැමිණි 52 හැවිරිදි කාලෙඩ් මසූඩ් නම් වූ ප්‍රහාරකයා පාර්ලිමේන්තු බිමෙහි වැටෙහි වාහනය හප්පවා එයින් පිටතට පැන නිරායුධ පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇන්නා. මේ අවස්ථාවේ පොලිසිය විසින් ප්‍රහාරකයාට ද වෙඩි තබනු ලැබුණා. ප්‍රහාරකයාට අමතරව පොලිස් නිලධාරියා ද තවත් තිදෙනකු ද මිය ගියා.


                                                        Mike Gimelfarb

මීට දිනකට පසු බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේදී ද වාහනයක් පදවා පදිකයන් යට කිරීමට උත්සාහ කළ අයකු අත් අඩංගුවට ගනු ලැබුණා.


ට්‍රම්ප්ට පරාජයක්

හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් හඳුන්වා දුන් සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ පනත ඉවත් කර නව පනතක් ගෙන ඒම සඳහා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උත්සාහය ව්‍යර්ථ වුණේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ ප්‍රමාණවත් සහයක් ඊට නොලැබීම හේතුවෙන්. එම නිසා ඡන්දයකට නොයා ම එම පනත හකුලා ගන්නට මාර්තු 24 වනදා රජය කටයුතු කළා.

මේ අතර මාර්තු 28 වනදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශගුණ විපර් යාස පිළිබඳ ක්‍රියා කරනු වෙනුවට ඇමරිකානු රැකියා ආරක් ෂා කරගත යුතු බව පවසමින් විධායක ආඥාවකට අත්සන් තැබුවා​. ඇතැම් විචාරකයින් පවසන්නේ මෙය හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ සෞඛ්‍ය පනත සම්මත කරගැනීමට නොහැකි වීම නිසා කළ එකටෙක කිරීමක් වනවා.


දඹ රන් කාසියේ සොරකම​


මාර්තු 27 වනදා බර්ලිනයේ බෝඩ් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කැනේඩියානු ඩොලර් මිලියනයක් වටිනා දඹ රන් "බිග් මේප්ල් ලීෆ්" නම් කාසියක් සොරකම් කරනු ලැබුණා.

මෙවන් කාසි 6 ක් 2007 දී තනවා තිබෙනවා. ඉන් පළමුවැන්න කැනඩාවෙහි පිහිටා තිබෙනවා. බර්ලිනයේ තිබුණේ කැනේඩියානු රජය විසින් විකුණන ලද අනෙක් කාසි පහෙන් එකක්.


ඩෙබී සුළි කුණාටුව​

මාර්තු මාසය අවසන් දිනවල ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට කඩා වැදුණ ඩෙබී සුළි කුණාටුව විශාල අලාභ හානි ගෙන ආවා. මෙය වසර හයකින් එම ප්‍රාන්තයට කඩා වැදුණ බරපතලම සුළි කුණාටුව බවට සැළකෙනවා. මෙයින් මේ වන විට එක් අයකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා.


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.





චාමර සුමනපාල 

0 comments:

Post a Comment