වැරැද්ද සහ වැරදිලාවත් නොවැරදුන මිනිස්සු!





අපි අතින් අනන්තවත් වැරැදි වෙනවා කියන එක ඔබට මට අලුතෙන් පැහැදිලි කරගන්න ඕන දෙයක් නෙවෙයිනේ. සාමාන්‍ය  මනුශ්‍යයෙක්  විදියට පොඩි පොඩි අතපසුවීම් , වැරදි සිදුවීම සාමාන්‍යයි. ඒත් අපි මේ ගතකරමින් ඉන්න සමාජ පරිච්ඡේදය , එකිනෙකාගේ වැරදිවලට හිනහා වෙමින්, අපහාසකරමින්  ඉන්න කාලයක් කියන හැඟීමක් මට දැනුණා.



ඉස්සරනම් වැරැද්දක් කරාම ඒක පැහැදි පැහැදිලිව තේරුම් කරලා දීලා ඒ ප්‍රශ්ණය එතැනින් අවසන් වුනා. පාසලකනම් වැරැද්දක් කරාම ගුරුවරුන්  ඊට සුළු දඬුවමක් දුන්නා එහෙම නැතිනම් ඒ නිවැරදි දෙය පෙන්වලා දුන්නා. යාලුවෙක් සහෝදරයෙක් සහෝදරියක්නම්  නම් වැරැද්දක් කරාම ඒක පෙන්වලා දුන්නා, ආයෙමත් ඒ වගේ දෙයක් නොකරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දුන්නා. ගෙදරදි නම් අම්මා තාත්තා හෝ වැඩිහිටියෙක් ඒ ගැන පැහැදිලි කරා. ඒත් දැන් ඒ දේ වෙනවද?


හොඳට හිතලා බලන්න , ඔබ දැන් අනිත් අයගේ සුළු වැරැද්දක්  වුනත් සිනහවට ලක්කරන අවඥාවට ලක්කරන අය බවට පත් වෙලානේද? දවස තිස්සේ ඔබ බොහෝ වෙලාවට කරන්නේ කාගේ හරි වැරැද්දක වීඩියෝ එකක් ,ෆොටෝ එකක්, screenshot  එකක් දිහා බලාගෙන ඒ ඒ පුද්ගල රූප වලට ගල් ගහන එක නේද?  වරදවා තේරුම් ගන්න එපා මම මේ කථා කරන්නේ සමාජවිරෝධී ක්‍රියා ගැන නෙවෙයි.එදිනෙදා ජීවිතයේ මිනිස්සුන්ට සිදුවන අතපසුවීම් වැරදි ගැන.


බොහොම සරලයි, අපි අද කෙනෙක්ට දෙයක් වරදිනකම් බලං ඉන්නේ ඉක්මනට ඒක වීඩියෝ කරලා සමාජජාලයන්ට මුදාහරින්න. ඒක සාධාරණයිද?  ඔබ නොදැනුවත්වම  විනාශ කරන්නේ තව කෙනෙක්ගේ පෞරුෂයක් , ආත්ම ගරුත්වයක්. ඒ හැඟීම තේරුම් ගන්න.


මඟුල් ගෙදරක පොඩ්ඩක් බීලා වැඩිවෙලා නටන වයසක අංකල්ලා ,ඔබට  ඒ වෙලාවේ විනෝදයක් ගේනවා ඇති.  මේ ලියන මම වුනත් ඒ වගේ දෙයක් දැක්කම හිනාවෙයි. ඒත් ඒක අවඥාවට  ලක් කරන්න තරම් දෙයක් නෙවෙයි . ඒ වගේ දෙයක් රෙකෝඩ් කරලා සමාජ ජාලවල කටහැස්මට ගන්න ඕන දෙයක් නෙවෙයි. ඔබ අපි කවුරු වුනත් සතුටුවෙද්දී, විනෝද වෙද්දී  හැසිරෙන විදිය, සමාජ විරෝධී හැසිරීමක් නෙවෙයි නම්, ඒ ගැන ඔබ ඔය වගේ අණුවන ස්වයංවින්දනයක් ලැබීම මොනවගේ විදියටද ඔබ සාධාරණීකරනය කරන්න හදන්නේ?


ඔබේ පහත් වින්දනයේ අනෙක් පුද්ගලයාගේ හිස ගසා දැමිය යුතු නෑ. ඒ බව හොඳින් සිහියේ තියාගන්න, ඔබට ඔබ මහලොකු පොරක් කියලා හිතෙනවා වගේම අනෙක් අයටත් තමන්ගෙම වුන ගෞරවයක්  තියෙනවා.  පොඩ්ඩක් නටපු පලියට,  විහිළුවකට  මොනාහරි කතාවක් කියපු පලියට, වචනයක් වැරදුන පලියට, එහෙම නැතිනම් යාලුවෙක් එක්ක මොනා හරි පිස්සු වැඩක් කරපු පලියට, ඔබ මේ ලෝකේ ඉන්න ලොකුම වරදකාරයා වෙන්නෙ නෑ. ඒ නිසා ඒ වගේ දේවල් වලින් වින්දනයක් ලබන්න එපා.


සමාජයේ සියළුම  දෙනාගේ සමාජ මට්ටම්, උගත්කම්, මනුස්සකම් සමාන නැහැ. ඒ නිසා මිනිස්සු අතින් නිතර වැරදි වෙනවා . වැරැද්දක්  පෙන්වලා දෙන එකයි වැරැද්දක් හෝද හෝද මඩේ දාන එකයි එහෙම නැතිනම් තේරෙන  භාශාවෙන්ම  කිව්වොත් වැරැද්දක් අතපසුවීමක් "බයිට්" එකට ගන්න එකයි අතර බරපතල වෙනසක් තියෙනවා.   ඒ නිසා ඊට වඩා දැනුම්තේරුම් ඇති පුරවැසියන් විදියට වැඩ කරන්න. කෙනෙක්ගේ වැරැද්දක් අතපසුවීමක් සමච්චලයට ලක් නොකර පහදලා දෙන්න. ඒකයි නියම මනුස්සකම!


ඒ වගේම එකිනෙකා විනෝදවෙන ආකාරය, දුක්වෙන ආකාරය, හැසිරෙන ආකාරය එකිනෙකාට සාපේක්ෂ  නිසා ඒ හැසිරීම් ඔබට මට හිංසනයක් නොවන සමාජ විරෝධී ක්‍රියාවක් නොවෙන තාක් කල්, ඒ වෙනස වටහාගෙන පුද්ගල විවිධත්වයට ගරු කරන්න.  වැරදි නැති මිනිස්සු නෑ. අතපසුවීම් නැති අය නෑ. හැමෝම ඔබ තරම් උගත් හෝ බුද්ධිමත්  නෑ. වඩා වැදගත් මනුශ්‍යත්වය මිස ආතල් එක නෙවෙයි.    අන්න ඒක මතක තියාගන්න, මනුසයෙක්ට අකුරක් වචනයක් වැරදුනාම හිනාවුනාට, ඔබට ජීවිතේ වරදිද්දී පිහිටට ඉන්නේ ඒ මනුසයාම වෙන්න පුළුවන්.


මතක තියාගන්න, මිනිස්සුන් එක්ක හිනාවෙනවද  , මිනිස්සුන්ට හිනාවෙනවද කියන එක , ඔබේ ජීවිතයේ බරපතල කර්ම විපාකයක් වේවි!


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.



තිලිණි. N. ලියනආරච්චි

0 comments:

Post a Comment