පේටන්ට් බලපත්‍රය ගැන දැනගනිමු



‘නව උත්පාදක බලපත්‍රයක්‘ හෙවත් අපිට හුරැ පුරැදු වචනය තමා ‘පේටන්ට්‘ කියන්නේ.. පේටනට් බලපත්‍රයක් සරලවම නිර්වචනය කල හැක්කේ නව නිපයුමකට රජය විසින් ලබා දෙන අනන්‍ය බුද්ධිමය දේපල අයිතියක් ලෙසයි.


එහිදී පේටන්ට් පිළිබද නීතිය බුද්ධිමය දේපල පිළිබඳ නීතිය යටතේ පැමිණෙන්නක් වන අතර ලංකාව තුළ නම් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ (V) කොටසේ ඇතුලත් 62 සිට 100 දක්වා දැක්වෙන ප්‍රතිපාදන අනුව පාලනය වේ.


පළමුවෙන්ම බුද්ධිමය දේපලක් කියන්නේ කුමක්ද යන්න සලකා බලමු. මිනිස් මනසින් නිමවෙන අග්‍රගණ්‍ය  නිර්මාණයක් අප බුද්ධිමය දේපලක් ලෙස හඳුන්වන අතර එවැන්නක හිමිකරැවා සතු අයිතීන් තහවුරැ කිරීම සඳහා බුද්ධිමය දේපළ නීතිය බිහි වී ඇත.


නව නිපයුම් පිළිබඳව වන නීතිය ද මෙහි එක් ශාඛාවක් වන අතර ප්‍රධාන ලෙසම එමඟින් නව නිපයුමක් ලොවට දායාද කල තැනැත්තා වෙත එම නිපයුමට අදාළව අනන්‍ය අයිතිවාසිකම් පිරිනමයි. විශේෂයෙන්ම නව නිර්මාණය සිදු කළ තැනැත්තා දිරි ගැන්වීම සඳහා මෙන්ම අනෙක් තැනැත්තන්වද ඒ හරහා නව නිපයුම් කිරීමට පෙළැඹවීම මෙහි අරමුණ වී ඇත.


ලෝකය මෙතෙක් පැමිණි ගමන් මඟ සැලකීමේ දී එම ගමන සීඝ්‍ර කීරීමට නව නිපයුම් හේතුවුවා යැයි කිවහොත් එය නිවරැදි වනු ඇත. නව නිපයුම් හරහා ලෝකයේ ඉදිරිපෙළට පැමිණි රාජ්‍යයන් අතුරින් ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, ෆින්ලන්තය,ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පුරැව, හොං කොං, කොරියාව ආදි රටවල් කැපී පෙනේ. විශේෂයෙන්ම Diamond v Chakrabarty තීරණයේ දී, ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුයේ, මේ ඉර හඳ යට මිනිසා විසින් නිර්මාණය කරනු ලැබු සියලු දේ සඳහා පේටන්ට් ආරක්ෂාව හිමිවිය යුතු බවයි.


විශේෂයෙන්ම දේශිය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද නව නිපයුම් සහ එහි නිර්මාණකරැවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම නව නිපයුම්කරැවන් දිරිගැන්වීමට හේතුවකි.

2003 අංක 36 ලාංකේය බුද්ධිමය දේපල නීතිය තුළ නව උත්පාදන සම්බන්ධයෙන් වන නීතිය සැලකීමේදී,
‘නව නිපයුමක්‘ යන්න 62(1) වගන්තිය යටතේ අර්ථ නිරෑපණය කරනුයේ

‘විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රෙය් නිශ්චිත ගැටලුවක් විසඳීමට ව්‍යවහාරයේහි ලා උපකාරී වන නව නිපයුම්කරැවෙකුගේ සංකල්පනාත්මක අදහස් '

ලෙසය.



විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ වන නිශ්චිත ගැටලුවක් යන්නෙන් අදහස් වනුයේ උදාහරණ ලෙසට මෑතකදී ලොව කැළඹු ඉබෝලා වෛරසය සඳහා ඖෂධයක් නොමැතිකම නැතහොත් එදිනෙදා අප ආහාරයට ගන්නා කජුවල, කජුමදයට හානියක් නොවී ඒවා ඉක්මණින් ඉවත් කළ හැකි උපකරණයක් නොවීම ආදිය දැක්විය හැකිය.


එහිදී නව නිපයුමක් යන්නට යම් නිෂ්පාදිතයක් හෝ ක්‍රියාවලියක් ඇතුළත් විය හැකිය. පනතේ 62 (3) වගන්තිය මඟින් ප්‍රකාශිතවම පේටන්ට් ලබා ගත නොහැකි අවස්ථාවන් දක්වයි.

එනම් අනාවරණය කිරීම්, විද්‍යාත්මක සිද්ධාන්ත, ගණිත ක්‍රම සඳහා පේටන්ට් ලබා ගත නොහැකිය.

උදාහරණයක් ලෙස ගුරැත්වාකර්ෂණ න්‍යාය සොයාගත් අයිසැක් නිව්ටන්හට එය සොයා ගැනීමේ පේටන්ට් බලය ලබා ගත නොහැකිය. මන්ද එය දැනටමත් ලෝකය තුළ පවත්නා දෙයක් අනාවරණය කිරීමක් පමණක් වීම නිසාය.


එසේම ශාඛ, සතුන් හා  ට්‍රාන්ස්ජෙනික නොවන ක්ෂුද්‍ර ජීවින් සඳහා ද පේටන්ට් ලබා ගත නොහැකිය. එසේම ශල්‍ය කර්ම හෝ චිකිත්සාව මඟින් මනුෂ්‍ය හෝ සත්ව ශරීරයට ප්‍රතිකාර කිරීමේ ක්‍රම, රෝග විනිශ්චය කිරීමේලා ව්‍යවහාරික ක්‍රම (නමුත් මෙවැනි ක්‍රමයක දී යොදා ගන්නා නිෂ්පාදිත සඳහා පේටන්ට් ගත හැකිය) හා මහජන සාමය, සදාචාරය ආරක්ෂා කිරීම, මානව, සත්ත්ව, ශාකවල ජීවිත හෝ සෞඛ්‍ය ආරක්ෂා කිරීම හෝ පරිසරයට වන හානි මඟහැරවීම පිණිස වන නිපයුමක් සඳහා ද පේටන්ට් ලබා ගත නොහැකිය.
පනතේ 63 වගන්ති ප්‍රකාරව යම් නිපයුමක් පේටනට් ලබා ගැනීමේදී සැපිරිය යුතු අංගයන් ත්‍රිත්වයක් දක්වයි. එනම් පේටන්ට් ලබා දීමේදී ලංකා බුද්ධිමය දේපල කාර්යාංශය විසින් ඔබගේ නිපයුම තුළ පහත කරැණු අන්තර්ගත වේද යන්න සළකා බලයි. එනම්


  • නවතාවය
  • නව නිපයුම්කාරි පියවර
  • කාර්මික උපයෝගීතාවය

නවතාවය යන්න තවදුරටත් පනත යටතේ දක්වනුයේ නව නිමයුමක් පේටන්ට් ලබා ගැනීමට නම් එය පුර්ව කලාවක් මඟින් පෙන්නුම් කර නොමැත්තක් විය යුතු බවයි. මෙහි දැක්වෙන පුර්ව කලාව යනු කුමක්ද?...
එහිදී නවතාවය ප්‍රධාන ආකාර 03කි.


  1. Universal Novelty
  2. Relative Novelty
  3. Local Novelty


තෙවන වර්ගයේ දී දේශිය වශයන් නිර්මිත නිපයුම් සළකා බලා නවතාවය තීරණය කරන අතර දෙවැන්නේ දී තරග කරන අනෙක් නිපයුමට සාපේක්ෂව නවතාවය පිරික්සයි. පළමුවැන්න වඩාත් පුළුල් වන අතර එහිදී ලොව කිසිදු කලෙකදී නිර්මාණය නොවු නැතහොත් ලිඛිත හෝ වාචිත කිසිදු ආකාරයකින් අනාවරණය නොවු දෙයක් නම් එහි නවතාවය ඇති ලෙසට සලකයි. එනම් පුර්ව කලාව මඟින් පෙන්නුම් නොකරන ලද්දකි.
ලංකාවේ පේටන්ට් නීතිය යටතේද සළකා බලනුයේ මෙම තෙවන අංගය හෙවත් විශ්වීය නව්‍යතාවය යි.
එසේ සැලකීමේදී වන අවාසීන් ද නැතුවා නොවේ. එක් අතකින් එය සෑම අතින්ම උසස් නවමු වූ යමක් ඉදිරිපත් කිරීමේලා වන අවශ්‍යතාවය ඉටු කිරීමට හේතු වූවත් ඒ හරහා නිපදවන බොහෝ  නව නිපයුම් ප්‍රතික්ෂේප වීමේ ඉඩකඩ ඉහළය. යමෙකු පළමු අවස්ථාවෙන්ම පරිපුරණ වූ නිපයුමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කල නොහැකිය.


නමුත් අප රටේ පේටන්ට් නීතිය යටතේ අපේක්ෂා කරනුයේ පළමු අවස්ථාවෙන්ම පරිපුර්ණ වු නිපයුමක්ය. එය එක් අතකින් නව නිපයුම්කරැවන්ය අධෛර්්‍යමත් කීරීමට ද හේතුවන්නකි. එනම් මිනිසාගේ ස්වභාවය වනුයේ තමාගේ මහන්සිය හා හැකියාවන් කැපකිරීම් වෙනුවෙන් යම් තරමක හෝ ඇගයීමක් නොමැතිනම් එම කටයුත්ත අතහැර දැමීමට පෙළඹීමයි. නව නිපයුම්කරැවෙකුට ද මෙය නිසැකවම අදාළ වන කරැණකි.




විශේෂයන්ම නව නිපයුම්කරැවන් දිරිගැන්වීම හා නව නිපයුම් ප්‍රවර්ධනය කිරීම හා මුල්‍ය වාසි අත්කර ගැනීමේ අරමුණ සහිතව චීනය, ජපානය, මෙක්සිකෝව, කොරියාව වැනි කාර්මික රටවල භාවිත වන ක්‍රමවේදයක් ලෙස petty patent (Utility models, innovation patents) දැකිය හැකිය. එහිදී මේවා සාමාන්‍ය පේටන්ට් මෙන් වසර 20ක කාලයකට ලබා නොදෙන අතර ඊට ව‍ඩා අඩු වසර 7ක් 8ක් වැනි කාලයකට ලබා දේ.


සාමාන්‍යෙයන් පේටන්ට් ලබා ගැනීම සඳහා අදාළ ෆොරමයන් පුරවමින් හා කාර්යාලය විසින් නිපවුම පරීක්ෂා කිරීමට ගත වන දීර්ඝ කාලය තුළදී එය වෙනත් රටක් විසින් ලබා ගෙන පේටන්ට අයිතිය ලබා ගෙන තිබීමටද වන හැකියාව ආදී අවධානම් මඟ හැරවීම සඳහා මෙම ක්‍රමය බොහෝමයක් කාර්මික රටවල් භාවිත කරනු ලබයි.


ලාංකේය නීති පද්ධතිය තුළ වන මෙම දෘඪතාවයන් හා ප්‍රායෝගිකව මුහුණ පෑමට ගැටලුවලට පිළියම් ලෙස මෙවැනි විකල්ප ක්‍රමවේදයන් කරාද යොමු වීම නව නිපයුම් ප්‍රවර්ධනයේලා මහෝපකාරීවනු නිසැකය.
පේටන්ට් ලබා දීමේදී සලකා බලන දෙවන අංගය වනුයේ නව නිපයුම්කාරී පියවරයි. මෙහි සරලම අර්ථය වනුයේ අදාළ නිපයුම මඟින් පවතින තාක්ෂණයේ යම් වර්ධනයක් සිදු කර ඇතිද ඒ සඳහා දායකත්වය සපයා ඇතිද යන්න සළකා බැලීමයි.


එහිදී යොදා ගනු ලබන මිණුම් දඞුව වනුයේ මෙම ක්ෂේත්‍රෙයේ සාමාන්‍ය නිපුණතාවය ඇති අයෙකුට එසේ දැකීමට හැකිවේද යන්නයි. විශේෂයෙන්ම ඉන්දීය නීතිය පිළිබඳව සැලකීමේ දී 2005 වසරේදී ගෙනෙන සංශෝධනය ප්‍රකාරව අදාළ නිපයුම තුළ පවතින තාක්ෂණික වර්ධනයට අමතරව ආර්ථිකමය සුවිශේෂිතාවය යන ලක්ෂණද සලකා බලයි.


තෙවන නිර්ණායකය වනුයේ කාර්මික උපයෝගීතාවය යන්නයි. මෙහිදී ලාභ අරමුණු කරගත් හා නොගත් යන අංශ ද්විත්වයම සළකා බලනු ලැබේ. එනම් එක්සත් රාජධානිය තුළදී නිපයුමක වන වාණිජ්‍යමය භාවිතය යන්න සලකා බලන නමුත් ඇමරිකා එක්සත් ජනපද නීතිය යටතේ නම් මෙය වඩාත පුළුල් ලෙස දක්වනුයේ මනුෂ්‍ය වර්ගයාට සෙත සලසන ආකාරයේ විය යුතු බවයි.


පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තෙකු සතුවන අයිතිවාසිකම් මොනවාද යන්න මීනඟට සලකා බලමු. එහිදි පනතේ 83 (1) වගන්ති දක්වන පරිදි ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කළ දින සිට වසර 20ක කාලයකින් මෙකී අයිතීන් අවසන් වන අතර කලින් කලට මුදල් ගෙවා අලුත් කිරීම සිදු කළ යුතුය. මෙහිදී පේටන්ට් හිමියා සතුවන අයිතිවාසිකම් අනන්‍ය අයිතීන් ලෙස දක්වයි. එනම් මෙම අයිතීන් පේටන්ට් හිමියා හට මුළු ලෝකයටම එරෙහිව භුක්ති විඳිය හැක.


ඒ අනුව බලපත්‍රහිමියා හට අදාළ නිපයුම උපයෝජනයට ලක් කිරීම, බලපත්‍රය වෙනත් අයෙකුට විකිණීම හෝ අන්සතු කිරීම හා අවසර ගිවිසුම අවසන් කිරීමේ හැකියාව ඇත. මෙහිදී උපයෝජනය යන්නට යම් නිෂ්පාදනයක් නම් එය ආනයනය, අපනයනය, විකිණීම හා විකිණිමට ඉදිරිපත් කිරීමද ක්‍රියාවලියක් නම් එය භාවිත කර නිෂ්පාදනයන් සිදු කිරීමේ හැකියාව ද ඇත.


කෙසේ වෙතත් මෙම පේටන්ට් බලපත්‍රලාභීන්ගේ අයිතිවාසිකම්වලට ව්‍යතිරේඛි අවස්ථාවන් නැතුවාම නොවේ. විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධයෙන් ඔබ අසා ඇති අනිවාර්ය බලපත්‍ර ක්‍රමය මෙයට වන ප්‍රධාන සීමාවකි.
අනිවාර්ය බලපත්‍රයක් යනු පේටන්ට් බලපත්‍රලාභියාගේ අවසරයකින් තොරව වුවද අදාළ නිපයුම උපයෝජනය කිරීමට හැකිවන සේ රජය මැදිහත්ව නිකුත් කරන බලපත්‍රයකි. විශේෂයන්ම තුන්වන ලෝකයේ ඉතා මිළ අධික ඖෂධ භාවිතය සම්බන්ධයෙන් අනිවාර්ය බලපත්‍ර නිකුත් කිරීම කැපී පෙනේ.


අවසන් වශයෙන් ලාංකේය නව උත්පාදක බලපත්‍ර පිළිබඳ නීතිය සැලකීමේ දී එය සැබවින්ම නව නිපයුම්කරැවන් දිරිගන්වනසුළු වුවක්ද යන්න දෙවරක් සිතා බැලිය යුත්තකි. විශේෂයෙන්ම නව නිපයුම්කරැවෙකු තම නිර්මාණය කිරීමට දරන වෙහෙසට අමතරව ඒ සඳහා අවසරපත් ලබා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. ඇතැමුන් ලංකාවේ පේටන්ට් ලබා ගැනීමට වන දුෂ්කරතා හේතුවෙන් විදේශ රටවල් කරා ගොස් පේටන්ට් ලබා ගැනීම සිදු කරයි. හුදෙක් පේටන්ට් බලපත්‍රයක් ලබා දීමෙන් පමණක් නොනැවතී අදාළ නව නිපයුම දේශීය සංවර්ධන ක්‍රියාවලියට උපයෝගී කරගැනීම හා නිපයුමේ ඉදිරි සංවර්ධන කටයුතු කිරීමට නව නිපයුම්කරැ වෙත පහසුකම් සැලසීම රජයේ පාර්ශවයෙන් සිදු විය යුත්තකි. එසේ නොවී අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟියි යන වැකිය ප්‍රායෝගිත තලයට පත් නොකර එය කී තැනැත්තාව පමණක් සිහිකර එහි ගුණ වැයීම අරැත්සුන් ක්‍රියාවක් පමණක්ම වනු ඇතිබව අවසන් නිගමනය යි.


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.






පමෝදා මධුෂානි 
නීතිවේදී උපාධිධාරිනී 
කොළඹ විශ්ව විද්‍යාලය

0 comments:

Post a Comment