සබඳ - දිනපතා පුවත්

ආයුබෝවන්, ඔබ මේ එක්වන්නේ දිනපතා පුවත් විකාශයත් සමඟයි.

අඹලන්තයේ පාලන තන්ත්‍රයේ පාලකයින් කිහිපෙදෙනකුගේම ජන්මදිනය අද (1) දිනට යෙදී තිබෙනවා. මේ නිමිත්තෙන් ඉතා විශාල සාදයක් ජනතාවගේ වියදමින් පැවැත්වූයේ දූපත හෝටලයේදීය. මේ පිළිබඳව අප ගෙන එන විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න.






මුලින්ම සිරස්තල,


*අඹලන්තයේ අගනුවරට අයිස් වැස්සක්
*2017 දී තවත් 2016 ක්
*ක්‍රීඩාවක් වැරදී ප්‍රේක්ෂකයෙක් අපහසුතාවයකට
*ඔස්කාර් සම්මානය ක්‍රීඩකයෙකුට
*ආදරණීය යුවලක් පොල් ලෙලි ගසයි.


අඹලන්තයේ මෝසම් සමය පැමිණි බවට සටහන් කරමින් ඊයේ දින පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා අයිස් වර්ෂාවක් පතිත වී තිබෙනවා. මේ පිළිබඳ වාර්තා කළ අපගේ ප්‍රාදේශීය වාර්තාකරු සටහන් කළේ මින් පෙරද මෙවන් වූම වැසි දිගින් දිගටම වාර්තා වූ බවයිත අගනුවර ඇති කාර්යාල ආශ්‍රිතව වායුගෝලයේ ඇති වූ අවපීඩන තත්ත්වයක් හේතුවෙන් මෙම අයිස් වැසි පතිත වන බව බොහෝ කාළගුණ විද්‍යාඥයින්ගේ මතයයි. කෙසේ වුවත් සති අන්තයේ මෙම වර්ෂා අවම වන බවද මේ පිළිබඳ නිරීක්ෂණය කළ කාළගුණවේදියෙකු පැවසුවා.


ක්‍රි.ව. 2017 මීට පෙර වසරට හාත්පසින්ම සමාන බව ප්‍රවීණ දෛවඥ තාරක සූරියසේන මහතා පවසනවා. අද උදෑසන අප සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙම අදහස් පළකල මෙතුමා තාරකා පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකු ලෙස ලොව පතලයි. විවිධ තරු රටා අධ්‍යයනය කරන මෙතුමා දවසින් වැඩි ප්‍රමාණයක් අහස දෙස බලමින් සිටී. මේ වසරේද දිනයන් සියල්ලෙහිම පැය 24 බැගින් තිබෙන බවත්, මසකට දින 30 ක් තිබෙන බවත් ඔහු විසින් හෙළිදරව් කරන ලදි.




ලොව ජනප්‍රියම ක්‍රීඩාවෙහි නම යොදාගෙන වෙනත් ක්‍රීඩාවක් කරන ආකාරය දුටු ප්‍රේක්ෂකයෙකු දැඩි කම්පනයකට ලක් වී තිබෙනවා. තමා ආස කරන ක්‍රීඩාව වූ පාදය යොදාගෙන කරන ක්‍රීඩාවේ නම යොදාගෙන බිත්තර හැඩැති පන්දුවක් සහ අත් පවා සම්බන්ධ කරන මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ක්‍රීඩා නාමය විකෘති කරන්නක් බව ඔහුගේ අදහසයි. ප්‍රවීණ ඉන්දීය ක්‍රීඩා විස්තර විචාරක එස්. ඕ. කර් මහතා පැවසුවේ මෙම ක්‍රියාව තමන් දැඩි සේ හෙලා දකින බවයි. ක්‍රීඩා ලෝකයේ ඇති ජීව ගුණය මේ මඟින් නැතිවන බවට අප හා තවදුරටත් පැවසූ කර් මහතා මේ පිළිබඳව නඩු මාර්ගයට යොමු වන බවත් පැවසීය.


මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට පන්දුවට පාදයෙන් පහරදෙන ක්‍රීඩාවක නියැලෙන ක්‍රීඩකයෙකු සමත්ව තිබෙනවා. අන්තර්ජාතික තරඟාවලියේ අවසන් පූර්ව වටයේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම සම්මානය ඔහුට ලබාදීමට තීරණය කළ බව විනිශ්චය මණ්ඩලය පැවසීය. නරඹන්නන් තව දුරටත් විස්මයට පත් කරමින් හොඳම සහය නළුයා සම්මානය දිනාගැනීමට එම ක්‍රීඩාවේම නියැලෙන් විනිසුරුවරයෙකු සමත්වීම තවත් විශේෂ සිදුවීමක් විය. එක්තරා කණ්ඩායමක විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් පසුබිමෙන් ඔහු දැක්වූ සහයෝගය මෙම සම්මානය ලබාදීමට හේතු වූ බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.


ජීවිත කාලයම තම බිරිඳ සමඟ පොල්ලෙලි ගැසූ සැමියෙකු ගැන අපූරු පුවතක් අපට වාර්තාවන්නේ උසකඳුලන්තයෙන්. වසර 25 ක් පුරාවටම මෙම ක්‍රියාවේ යෙදී තිබෙන යුවල අදටත් පෙර පරිදිම ආදරයෙන් බැඳී සිටීම තරුණ අපට ඉතාම වටිනා ආදර්ශයක්. පොල් ලෙලි ගැසීම නිසා තම සම්බන්ධය දිනෙන් දින වැඩි වූ බවයි බිරිඳ පැවසූයේ. මේ නිසම ඔවුන් අතරේ සතුටේ අඩුවක් නොවුණු බව අප සමඟ එක් වූ එම යුවල කියා සිටියා. දිනෙන් දින වැඩි වන පොල් මිල හමුවේ පොල්ලෙලි මෙන්ම පොල් ගෙඩිද නිසා මෙම යුවලට මුදලින් නම් කිසිදු අඩුපාඩුවක් නොවන අප අපගේ විශ්වාසයයි.


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.




තිලිණ දසන්ත

0 comments:

Post a Comment