Time Lapse එක්ක Mind bend වෙමු





Time travelling කියන්නේ චිත්‍රපට නරඹන හැමෝගෙම ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්නා වර්ගීකරණයක්.

මේ ආකර්ශනීය තේමාව ඔස්සේ ගොඩනැගුනු විශ්මිත සංකල්පයන් වලින් විශ්මයට පත් වන රසික පිරිසක් ලොව පුරාම සිටිනවා. Time traveling ability එක කියන්නේ වරප්‍රසාදයක්.

චිත්‍රපට කතන්දර නිර්මාණය වෙන්නේ, මේ වරප්‍රසාදය නිසාම ගොඩ යන පිරිසත්, අනාගන්නා පිරිසත් විදිහට යහපත්-අයහපත් ප්‍රතිඵලයන් දෙකම සමබර කරවමින්. ගොඩක්ම වෙලාවට සිද්ද වෙන්නෙ නම් අතීතයට ගිහින් වෙච්ච වැරදි හදාගන්න එක තමයි. වැරැද්දක් නිවැරදි කළ පමණින්ම වර්ථමානය සහ අනාගතය සුභදායක එකක් වෙන්නෙත් නෑ සමහර වෙලාවට. චිත්‍රපට වලදී වැඩිම අවධානයක් යොමුකරවන්නේ මේ සෘණාත්මක පැත්තට. එතකොටයි අගේ වැඩි...



Time traveling චිත්‍රපටවලත් ප්‍රභේධ කිහිපයක් දකින්නට පුළුවන්.


*සරළව නමුත් ඉහළම වින්දනයක් ලබා දෙන චිත්‍රපට:
උදාහරණ: 'Back to the Future Trilogy' (1985-1989-1990) / 'Indru Netru Naalai' Tamil movie (2015)

*සංකල්පය අතිශය සංකීර්ණතාවයකින් ඉදිරිපත් කරන තරමක් වෙහෙසකාරී චිත්‍රපට:
උදාහරණ: 'Donnie Darko' (2001) / 'Primer' (2004)

*එකම ක්‍රියාවලිය නැවත නැවත සිද්ද වන Looping ආකාරයේ චිත්‍රපට:
උදාහරණ: 'Source Code' (2011) / 'Edge of Tomorrow' (2014)

*කාළතරණය ක්‍රියාවලිය නිවැරදිම අගයෙන් පරිපූර්ණව ඉදිරිපත් කරන චිත්‍රපට:
උදාහරණ:  'The Time Traveler's Wife' (2009) / Predestination' (2004)


අද කතා කරන්න තෝරගත්ත 'Time Lapse' චිත්‍රපටය මේ ප්‍රභේධ හතරටම අයත් එකක්.

සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන Time Traveling රීතිය අභියෝගයකට ලක් කරවපු එකක්...
Low budget එකකින් Blockbusters පවා හෑල්ලු කරවපු එකක්...
ඉහළම ප්‍රතිශත අගයක් ලැබිය යුතු නමුත් Underrated වෙච්ච එකක්...

මුලින්ම බලපු නැති අය වෙනුවෙන් සමස්ථ නිර්මාණය ගැනම සවිස්තරයක් ඉදිරිපත් කරල ඉන්නම්. ඊට පස්සෙ පුළුවන් බලපු අයත් එක්ක මෙහි විශ්මිත අන්තර්ගතය ගැන ගැඹුරෙන් කතා කරන්න....


** Time Lapse හැදිච්ච හැටි:


Time travelling movie එකක් විදිහට ඉතාමත්ම හොඳ නිර්මාණයක්. කිසිම විවාදයක් නැහැ එහි. වැඩේ කියන්නේ මේක බලපු ඔබට පුළුවන් වෙයි එකපාරම යන්න අතීතේට. ඒ කියන්නේ වසර 2009ට. ගිහින් බලන්න පුළුවන් මේකේ හින්දි කොපි එක. නම  "Aa Dekhen Zara". හැබැයි කාට හරි පුළුවන් වුනා නම් යන්න 1961 වර්ෂයට. මේ කොපි දෙකටම වස්තු බීජ වුන දෙයක් "A Most Unusual Camera" කියල එකකුත් හොයාගන්න පුළුවන් වෙයි. කොහොම වුනත් මූලික සිද්ධාන්තයක් අනුසාරය කරගන්නා අවස්ථාවකට "කොපියක්" කියන එක වැරදියි. මේක හැදුවේ "Aa Dekhen Zara" ආශ්‍රයෙන්ද, නැත්නම් 1961 කතන්දරෙන්ද කියල කවුද දන්නේ?


Time Lapse එකට අදාළ IMDB Triva චෙක් කලොත් පිළිවෙලින් මේ විස්තරයන් දකින්නට හැකි වේවි:

*The Plot of this very close to that of the season two Twilight Zone story from 1961 "A Most Unusual Camera". Thieves steal a camera from a curio shop, discover it can take pictures of events some short time in the future, and try to use it to win at horse racing bets, Etc.

"Horse racing bets" කිවුවම මේක කෙළින්ම සමාන වෙන්නේ හින්දි චිත්‍රපටයට. එතකොට 2009දී බොලිවුඩ් චිත්‍රපටය හැදුවේ 2014 තිරගත වුන හොලිවුඩ් එක අනුසාරයෙන් නෙවෙයිනේ... එතකොට බොලිවුඩය තමයි මෙතැනදී ඉදිරියෙන් ඉන්නේ අනුසාරය සිනමාත්මකව උපයෝගී කරගැනීමේදී.
Trivia අනෙක් විස්තරේ වෙන්නේ:

*The plot of this film very similar to the Bollywood Movie "Aa Dekhen Zara" which features a dj finding a camera which can see the future which he uses for personal gain. කියලා...
මේ ආකර්ෂණීය Plot එක ගැන තව විස්තර හොයාගෙන ගියොත් Time Lapse විකිපීඩියා විස්තරේ Influences තීරය යටතේ සඳහන් වෙනවා:


"The premise of the being to see 24 hours into the future is also the basis of several other movies and television shows. Who is Running?, Early Editon (ස්වර්ණවාහිනියෙන් විකාශනය කෙරුනා වසර ගණනාවකට කලින්. හෙට පත්තරේ අද උදේම හම්බ වෙන හැටි), The Queer Story of Brownlow's Newspaper a story by H.G. Wells which was made into an episode of The Infinite Worlds of H.G. Wells, and Paradox." කියලත්.


චිත්‍රපටය ගැන සඳහනක් නොකර මේ අනුසාරයන් ගැන සටහන් කළේ ඇත්තටම මේක Original plot එකක් නොවීම ගැන ඇති වුනු පුදුමයත් එක්ක. මොකද මේක හොඳම Time travelling theory එකක් නිසා.


**Plot details in brief:





"අනාගතය දැකිය හැකි කැමරාවක්" කියන එක තමයි ප්‍රධාන මාතෘකාව. ඉතින් මේ කැමරාවත් එක්ක ගොඩනැගෙන්නෙ එසේ මෙසේ කතන්දරයක් නම් නෙවෙයි. මුලිනුත් සඳහන් කරපු අනුසාරයන් එක්ක මේ සංකල්පය "ඔරිජිනල්" එකක්ම නෙවෙයි නේද කියන එක ගැන අනවශ්‍යාකාරයෙන් අතෘප්තිමත් වෙන්න ඕනි නෑ.

තෘප්තිමත් වෙන්න පුළුවන් හොඳම දේ තමයි මෙහි අතිශය නිර්මාණත්මක සැකැස්ම. Plot එක අනුසාරයක් වුනාට සැකැස්ම Original එකක්. සැකැස්ම විදිහට මම හඳුන්වන්නේ "චරිත තුනක්-එක පසුතලයක්" කියන දේත් නෙවෙයි. මොකද ඒ සිද්ධාන්තයත් අනුසාර කරගෙන තිබෙනවා Danny Boyleගෙ Shallow Grave (1994) චිත්‍රපටයෙන්. මම මෙතැනදී සැකැස්ම විදිහට හඳුන්වන්නේ හින්දි එකත් එක්ක සංසන්දනය කිරීමේදී මෙහි දකින්නට ලැබුන සුවිශේෂීම දේ ගැන. හින්දි එකේදී කැමරාව අපට අවශ්‍ය ඕනෑම තැනක රැගෙන යා හැකියි. ගැනෙන ඡායාරූපත් විවිධ පසුතලයන්හි රිසි රිසි දේවල්. ඒ ඕනෑම තැනෙක ගැනෙන ඡායාරූපයකින් අනාගතය දකින්නට හැකියි. නමුත් Time Lapseහි කැමරාව පොළවටම සවිකර තැනු විශාල එකක්. එයට දර්ශනය වෙන්නෙත් එකම එක පසුතලයක් විතරයි. කැමරා කාචයට පෙනෙන පසුතලය තුල ජීවත් වෙන අපූරු චරිත තුනක් ආශ්‍රයෙන් තමයි මේ කතන්දරේ ගොඩනැගෙන්නේ. කැමරාවේ රහස සොයාගැනීමෙන් පසුව ඔවුන්ගේ ජීවිත වල සිද්ද වෙන මහා පෙරළිය තමයි කතා පෙළගැස්ම වෙන්නේ. මෙහිදී ඇතුලත් වෙන 100%ක්ම වූ Unpredictable twist එක නිසාම හින්දි චිත්‍රපටය එහෙම්පිටින්ම අමතක කරල දාන්න පුළුවන්. ඒ ප්‍රභලත්වය චිත්‍රපටයකින් ඔබට දකින්නට හැකි උපරිම වින්දනාත්මක කුතුහලයක් වේවි. ඒ හින්දම ඔබ පුදුමයට පත් වේවි මෙය මේක ශුද්ධ ඔරිජිනල් එකක් නොවුන එක ගැන.



මෙතනින් එහාට විස්තරය බලපු අයට විතරයි. ඒ නිසා බලපු නැති අය මුලින් බලල ඇවිල්ලා මෙතනින් එහාට තියෙන විස්තරය කියවන්න...

Time Lapse එක්ක Mind Bend වෙන්න...


**Movie Overview


ප්‍රධානම චරිත තුනයි. එක්කෙනෙක් Finn. එයා සිත්තරෙක්. නමුත් ටිකක් විතර පරිහානියට කඩා වැටීමකට ලක් වෙලයි ඉන්නේ වෘත්තීමය වශයෙන්. ඊලඟ කෙනා ඊලඟ කෙනා Callie. Finnගෙ පෙම්වතිය. දෙන්නා එක්ක එකම Apartment එකේ වාසය කරන අනෙකා Jasper. දඩබ්බරයෙක්. රේස් ඔට්ටු වලට ඇබ්බැහි වූවෙක්. Finn-Callie මැද්දට අනවශ්‍ය බාධකයක් නොවී ඉන්නට Jasper වග බලා ගෙන තිබෙන බව දකින්න පුළුවන්. තුන් දෙනාම එකම කණ්ඩායමක් විදිහටයි සිද්දිය ඇතුලෙදි ක්‍රියා කරන්නේ නමුත් තුන් දෙනාගේ සිතුම් පැතුම් වෙනස්. මුලිනුත් සඳහන් කලානේ "කාලතරණය" කියන්නෙ වරප්‍රසාදයක් කියලා. ඉතින් ඒක මේ තුන්දෙනා ඇත්තටම භාවිත කරන්නේ තුන් ආකාරයකට. එහෙම වෙන්නේ මේ වරප්‍රසාදය තුලින් කළ හැකි දෑ ගැන පූර්ණ අවබෝධය ලැබීමෙන් පසු... එතනදිත් සියල්ල කණපිට හැරෙන මහා ජංජාලයක් වෙන්නෙ ඇත්තටම Callie විසින් "යටින් ගහපු ගේමක්" නිසා.

මේක තමයි කතන්දරය Unpredictable තත්වයකට පත් කරවන දේ. සිද්ද වෙන දේ අකුරක් නෑරම අපි බලාගෙන, ගැටළු විසදාගෙන, ඉදිරිය ගැන අනුමාන පවත්වාගෙන එනකොටම නිරාවරණය වෙනවා Callie විසින් දියත් කරවපු සූක්ෂම යටිකූට්ටු මෙහෙයුම.


අපි හිතුවටත් වඩා වැඩේ දරුණු මට්ටමක පවතින බව අපටත් වැටහෙන්නෙ එවිටයි...
සිද්දිය පටන් ගන්න හැටි ගැන විමසල ඉමු..


Callie දවසක් යනවා වෙනත් කුලී නිවැසියෙක් හමුවන්නට. ඔහු නම් නිවසේ නැහැ, නමුත් ඒ වෙනුවට සොයාගන්නට ලැබෙනවා Mysterious, fridge-sized camera එකක්. කැමරාවේ අද්භුත ගතිය වඩාත්ම මතුවෙන්නේ කැමරාව එල්ල වෙලා තියෙන්නේ Callieලගේ විසිත්ත කාමරය දෙසට වීම. විශාල කැමරාව පොළවට සවි කල එකක් නිසා මේ කැමරාවෙන් ගන්නට හැකි එකම පින්තූරය වෙන්නේ Callieලගේ විසිත්ත කාමරය ඇතුළත දර්ශන විතරයි. තුන්දෙනාම මේ අන්දභූත කැමරාව ගැන හොයල බලනවා. කාලාන්තරයක් තිස්සේ කැමරාවෙන් ලබා ගත් පින්තූර පෙළක්ම තුන්කට්ටුවට දැක ගන්නට ලැබීමෙන් ඔවුන් මෙන්ම අපත් විශ්මයට පත් වෙනවා...


**How the camera works


මොකක්ද මේ කැමරාවේ විශේෂත්වය...?

කැමරාව හදපු කෙනා මේ වෙනකොට මිය ගිහින්. මේක එක්තරා පර්යේෂනයක ප්‍රතිඵලයක්. කැමරාව මඟින් ස්වයංක්‍රීයව සෑම පැය 24ට වරක්ම රාත්‍රී 8ට ක්‍රියාත්මක වෙනවා වරකට එක පින්තූරයක් ලෙසින්. මේ පින්තූරේ විශේෂත්වය වෙන්නේ කැමරාවට හසු වෙන්නෙ මේ මොහොතෙ රෑ 8ට දකින දර්ශනය නෙවෙයි හෙට දිනයේදී රෑ 8ට දකින්නට හැකි දර්ශනය වීමයි. උදාහරණයක් විදිහට අද රෑ 8ට Finn සිතුවමක් අඳිනවා. කැමරාව ක්‍රියාත්මක වෙලා පින්තූරය මුද්‍රණය වෙලා එළියට එනවා. නමුත් ඒකේ තියෙන්නේ Finn රාත්‍රී ආහාරය ගන්නා දර්ශනයක්. ඒ කියන්නේ අද රෑ 8ට සිතුවමක් අඳින Finn හෙට රෑ 8ට කරන්නේ ආහාර ගන්නා එක. මේ ක්‍රියාවලිය අවබෝධ කරගන්න තුන් කට්ටුව එකතු වෙලා මින් වාසනාව උරගා බලනවා. නමුත් තුන්දෙනා මේ සෙල්ලමේදී හැසිරෙන්නේ තුන් ආකාරයකට.



**Most important thing: "Don't F**k with time"





තුන්කට්ටුව දැන් දන්නවා කැමරාවෙන් ලැබිය හැකි ඉහළම ප්‍රයෝජනය මොකක්ද කියන එක. ඔවුන් අත්හදා බැලීමක් කරනවා. Jasperගෙ අදහස වෙන්නෙ කැමරාවට මුහුණ ලා රේස් ඔට්ටු ප්‍රතිඵල ලබා ගනිමු කියන එක. හරිම සරළයිනේ... කරන්න තියෙන්නෙ අද දවසේ ප්‍රතිඵල විශාලව පෙනෙන ලෙස බෝඩ් එකක සටහන් කරලා හරියට රෑ 8 වෙනකොට කැමරාවට පේන්න අල්ලගෙන ඉන්න එක. එතකොට කැමරාවෙන් පින්තූරය ගන්නවා, හැබැයි අර සටහනේ තියෙන්නේ අද දවසේ ප්‍රතිඵලය නෙමේ, හෙට දවසෙ ප්‍රතිඵලය. ඉතින් කරන්න තියෙන්නෙ හෙට උදේම ගිහින් මේ වෙනකොටත් දන්නා දිනුමට ඔට්ටු අල්ලන එක.

හෙට දිනන්නෙ කව්ද කියල අපි අද රෑම දන්නවා. ඉතින් අනාගතය දකින කැමරාව කියන්නෙ බලාගෙන ගියාම සල්ලි උනන උල්පතක්. යෝජනාව ගේන්නෙ දඩබ්බර Jesper වුනත් ශාන්ත දාන්ත Finn මීට එකඟ වෙන්නෙ නෑ. මොකද තුන්කට්ටුව මේ වෙනකොට හොයාගෙන කැමරාවේ නිර්මාතෘ හෙවත් Mr. "B" මේ වෙනකොට මිය ගිහින් ඔහුගේ පිළිස්සුන මළ සිරුර ගබඩා කාමරයක් තුළ සතියක් පමණ කුණු වෙමින් පැවති බව. Finnට අවශ්‍ය වෙන්නෙ මේ සම්බන්ධව පොලීසියට වාර්තා කරන එක වුනත් රේස් ඔට්ටු සම්බන්ධ යෝජනාවට Callieත් පක්ෂයි. පිරිමි දෙන්නා නොදන්නවා වුනාට "ගැහැණිය" මේ කැමරාවේ රහස ගැන ඒ දෙන්නටම වඩා උනන්දුයි. ඉතින් ඇයගේ කැමැත්ත මත Finnට සිද්ද වෙනවා සියල්ල රහසක්ව තබා ගන්නට. අනික හෙට රෑ පින්තූරේ ඔහු අද රෑ දැක්කම ඔහුටත් අවබෝධ වෙනවා මේ පිස්සු කැමරාවේ තරම. මොකද පින්තූරේ තියෙන්නෙ Jesper ඔසවාගෙන ඉන්නා රේස් ඔට්ටු ප්‍රතිඵල සටහනත්, පසෙකින් Finn විසින් මනාව නිම කොට ඇඳ තිබූ නවතම සිතුවමකුත්. සති ගනනාවක් තිස්සේම ඔහු හිටියේ හිස් කොළය මත අඳින්නට යමක් සැලසුම් කරමින්. මෙන්න ඔහු දැන් චිත්‍රයක් ඇඳලා. හැබැයි ඇඳලා තියෙන්නෙ හෙට රෑ. ඉතින් ඔහුට කරන්න තියෙන්නෙ ඒ දිහා බලාගෙන හිස් කොළය මත සිතුවම බලා ඇඳීමක් කරන එක විතරයි. ඉතින් දැන් ඔහුත් වැඩේට එක පයින්ම කැමතියි. ගබඩා කාමරේ ඇතුලේ පිච්චිලා මැරිල ඉන්න "B" මහත්තයට හෙන ගැහිච්චාවේ...


තවත් වැදගත් දෙයක් තිබෙනවා කැමරාවෙන් වාසනාව උරගා බැලීමේදී සැලකිය යුතු. ඒක "B" මහතා විසින් අවධාරණයෙන් ලියූ  සටහනක්.


"කිසිම විටෙක අනාගතය වෙනස් නොකළ යුතුයි". 


මේක අනතුරු ඇඟවීමක්. තුන්කට්ටුව මේක සැරට හිතට ගන්නවා. මොකද කැමරාවේ නිර්මාතෘවරයා මේ මොහොතෙ මියගිහින්. හේතුව අපැහැදිලියි. ඒ නිසා කට්ටිය තදින්ම හිතට ගන්නවා කැමරාවත් එක්ක වැඩ කරද්දි අද දවසෙදි දකින හෙට දවසේ පින්තූරයේ විස්තරයට අනුව හැඩ ගැහෙන්නට. ඒ කියන්නේ පින්තූරේ තියෙන්නේ Finn වතුර වීදුරුවක් පානය කරන දර්ශනයක් නම් හෙට රෑ 8ට ඔහු වතුර වීදුරුවක් පානය කළ යුතුමයි. එතකොටයි නිවැරදි රේස් ඔට්ටු ප්‍රතිඵලය සටහන් වෙන්නේ. එහෙමත් නැත්නම් අද දවසේදී ඔවුන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ.  හදිසියේ හරි පින්තූරේ තියෙන්නේ Callie සහ Jesper එකිනෙකා සිපගන්නා දර්ශනයක් නම්... ? Finnට බෑ ඒ සිද්දිය නොවෙන්න වග බලා ගන්නට. "කිසි විටෙකත් අනාගතය වෙනස් නොවිය යුතුයි" එයයි ශුද්ධ නීතිය. අර දෙන්නට සිප ගන්නට ඉඩ දීලා Finnට ඔහේ බලා ඉන්නට සිද්ද වෙනවා... මෙන්න මේක තමයි හැරවුම් ලක්ෂ්‍යය... මෙතනින් එහාට කතන්දරේට එකතු වෙන්නේ Entertaining පැත්තට එහා යන අතිශය Serious බවක්...





**How this Time Traveling portal different from other Time Traveling movies



ඔව්, අනිත් චිත්‍රපට වල අපි දකිනවා කාලය හරහා යන්නට උපකාරී වන යන්ත්‍රයක්. යන්ත්‍රයට නැගලා හරි බොත්තමක් ඔබල හරි අපිට අවශ්‍ය කාල වකවානුවට යන්න පුලුවන්. එක්කෝ අතීතෙට එක්කෝ අනාගතේට. ගිහින් අපිට හිතූවක් කළ හැකියි. වර්ථමාන සුබසිද්ධිය උදෙසා අතීතය හෝ අනාගතය වෙනස් කරන්න යන එක අනතුරුදායකයි කියන එකනේ හැම චිත්‍රපටයකම පොදු පණිවිඩය. මෙතනදිත් ඒක එහෙම්මමයි. නමුත් Time Traveling ක්‍රියාවලිය සහමුලින්ම වෙනස්. බැලූ බැල්මට ඔවුන්ට අනාගතය පමණයි දැකිය හැකි. අනාගතය දුටු පමනින් එය තම වාසියට හරවා ගැනීම හැර දකින අනාගතය වෙනස් කරන්නට හැකියාවක් නැහැ. අනිත් චිත්‍රපට වලදී කාලතරණය කරන්නන් තමන්ට අවශ්‍ය විදිහටයි සිදුවීම් වෙනස් කරන්නේ. මෙතනදී සිදුවීමට අනුව ඔවුන්ට වෙනස් වෙන්න වෙලා. නමුත් මේ කැමරාවේ සැබෑම රහස නිවැරදිව සොයා ගන්නෙ Callie. හැබැයි අනිත් දෙන්නට හොරෙන්. කැමරාව භාවිතා කරලා අනාගතය දකින එක වගේම ඇයට පුළුවන් අතීතය වෙනස් කරල කැමරාවෙන් පෙන්වන අනාගතය ඡායාරූපය  වෙනස් කරන්නට... ශුද්ධ නීතිය වෙන්නේ "අනාගතය වෙනස් නොකල යුතුයි" කියන එකනේ. ඒ කියන්නෙ අතීතය වෙනස් කරන එකට තහනමක් නෑ. දැන් අපි බලමු Callie කොහොමද ඒ හපන්කම කළේ කියලා...




Ivan හෙවත් Jasperගෙ බුකියාගේ ආගමනයත් එක්ක Time travel කතන්දරේ crime drama එකක් බවට පරිවර්තනය වෙනවා. සිදුවීම් පෙළෙහි උච්චතම අවස්ථාව වෙන්නෙ තුන්කට්ටුවේ දෙදරා යාම. මෙතනදි එකවර සෑහෙන Twists ප්‍රමාණයක් අඩංගුයි. අවසන Callie අතින් Jasper සහ Finn යන දෙදෙනාම ඝාතනය වනවා. සිදුවීම් පෙළ සිද්ද වූ ආකාරය අනුව අනුව Jasperව ඝාතනය කරන්නට යෙදෙන හේතුව සාධාරණයි.


ඒ වගේම ඇගේ සුරතින්ම තම පෙම්වතා Finnව මරා දැමීමත් ඇයට අනුව සාධාරණයි. මේ කැමරාවෙන් අනාගතය දකින සෙල්ලමේ නියම ක්‍රීඩිකාව ඇයයි. ඇය විසින්මයි කැමරාව මුල් වරට සොයා ගනු ලැබුවේත්, සෙල්ලම අවබෝධ කරගත්තේත්. ඇය සියල්ල ඇගේ වාසියට හරවා ගත්තේ තුන්කට්ටුවට කැමරාවත් එක්ක තිබුනු ගනුදෙනුවේදි ඇයට හිමි කොටසට දායක වෙමින්. Jasperට ඕනි වුනා සල්ලි හොයන්න. Finnට ඕනි වුනා කලාත්මක හැකියාව දියුණු කරගන්න.


ඒ අතරෙදි Callieට ඕනි වුනේ මොකක්ද? ඇය කලේ අත්හදා බැලීම් කරන එක. වැරදෙන වාරයක් පාසා එකම දේ ආපහු කරන එක. ඇය සොයාගත්තා සෙල්ලමේ හොඳම හරිය. කැමරාවෙන් ලැබෙන්නෙ දිනකට එනම් රාත්‍රී 8ට ලෙසින් එක් ඡායාරූපයක් පමණක්ම නොවේ. උදේ 8ටත් කැමරාවෙන් නිකුත් වෙනවා අනාගතය දකින පින්තූරයක්. ඉතින් Callie ඒක දකින්නේ "Endless loop of possibility" එකක් විදිහට. අන්තිම මොහොත වනතෙක්ම ඇය ඉන් නිසි ඵල ගත්තත් අන්තිමටම වුනේ කර්මය ඵල දුන්න එක.  Jasper විසින් නිතරම අවධාරණය කරපු ශුද්ධ නීතිය මතකනේ ? "Don't F**k with time". Callieටත් අන්තිමට සිද්ද වුනේ ඒකමද?


**Walk the cat backwards



Callieගේ කාලය හරහා ආපස්සට කරපු ගමන තරමක අපැහැදිලි බවකිනුත් සරළ බවකිනුත් සමන්විතයි. වෙන දේ හරියටම ග්‍රහණය කරගත්තත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්නත් ඕනි. සාමාන්‍යයෙන් Time traveling චිත්‍රපටවල වැදගත්ම අංගය වෙන්නේ කාලය හරහා ආපස්සට ගිහින් වැරදි හදන දර්ශන පෙළනේ? මෙහිදී මුලු චිත්‍රපටය පුරාම අපිට දකින්නට වෙන්නෙ එකම Timeline එකක්. හැම දෙයක්ම සිද්ද වෙන්නේ වර්ථමානය ඇතුලෙදි. නමුත් අපි අනාගත ප්‍රතිඵලය දන්නවා. නමුත් මේ වර්ථමානය හැම තිස්සෙම ගොඩනැගෙන්නේ Callie විසින් හිතා මතා වෙනස් කරපු අතීතයක පාදම මත. නමුත් අපිට ඒ හැම දෙයක්ම Onscreen දකින්න ලැබෙන්නෙ නෑ. කාලය හරහා ආපස්සට යෑම මුලුමනින්ම සිද්ද වෙලා තියෙන්නෙ Off screen.


රෑ 8ට ලැබෙන පින්තූරයට කලිනුයි Callieට උදේ 8ට ලැබෙන පින්තූරය ලැබෙන්නේ. රෑ 8න් අපි දකින්නෙ අනාගතය වුනත් ඊටත් පියවරක් ඉදිරියෙන් තමයි උදේ 8ට ලැබෙන පින්තූරය තිබෙන්නේ. ඒ නිසා Callieට අවස්ථාවක් තිබෙනවා අනිත් දෙන්නට හොරෙන් සියල්ල වෙනස් කරන්න. වැඩේ සිම්පල්. කරන්න තියෙන්නේ අද දවසේ ජීවත් වන ඇය විසින්, ඊයෙ දවසෙ ජීවත් වූ ඇය වෙතට පණිවිඩයක් යැවීම පමණයි. ඒක සිද්ද වෙන්නෙ උදේ 8 Timeline එකේදී. චිත්‍රපටයේ අවසන් දර්ශනයේ ඉඳන් ආපස්සට ගමන් කරල බලන්න.
Big Joe විසින් ඇයව අත් අඩංගුවට ගන්නා අතරෙදිත් ඇය කැමරාවට පෙනෙන සේ සටහනක් තබනවා. "Don't get caught at the window". මේ පින්තූරය මේ මොහොතෙදි අයත් වෙන්නෙ වර්තමානයට වුනත් අදින් දිනක් ගෙවුන පසු එය අයත් වෙන්නෙ අතීතයට. ඉතින් අතීතයේ ඉන්න Callieට මේ පින්තූරය ලැබෙන්නෙ අනාගතයෙන් ආ පණිවිඩයක් ලෙසට. ඉතින් ඇයට අවස්ථාවක් ලැබෙනවා අනතුරෙන් ගැලවෙන්නත් අලුත් පිළියමක් හොයන්නත්. ඒ අවස්ථාවත් වැරදුනොත් කරන්න තියෙන්නෙ ආපහු පණිවිඩයක් තියන එක විතරයි.


ආපස්සට ගමන් කිරීමේ රටාව දිහා සරළව බලමු:


අපි හිතමු ඇය අත් අඩංගුවට පත්වෙන්නෙ සිකුරාදා උදේ කියලා. ඉතින් ඇය "ජනේලය ලඟ ඉඳලා අහු වෙන්න එපා" කියන සටහන තබන්නෙත් ඒ මොහොතෙමයි. මෙතනදි ඇයට අවස්ථා 2ක් ලැබෙනවා. අත් අඩංගුවට පත් නොවී ඉන්නටත්, Finnව නොමරා ඉන්නටත්. Finnව මරන්න සිද්ද වෙන්නෙ ඇයි? Finn දකිනවා ඇය උදේ 8 පින්තූරයට මුහුණ දෙන හැටි. ඒ මොහොතේ අතීතයට යවන පණිවිඩයත් එක්ක ඇය ජනේලය ලඟ ඉන්න අයුරු ඔහු නොදුටුවා නම් ඔහු ඇත්ත දැනගන්නෙ නෑනේ.  ඒ මොහොතෙම ජනේලය ලඟ නොහිටියනම් ඇයට හැකියි Joeටත් අසු නොවී ඉන්නට.





Finn සූදානම් වෙනවා කැමරාව විනාශ කරල දාන්න. ඇයට බැහැ එයට ඉඩ දෙන්න. වැරදුන තැන් හදන්න තියෙන එකම පිහිට කැමරාව විතරක්ම නිසා. ඉතින් ඇය ඔහුව මරා දමලා සටහන තබනවා සිකුරදා උදේ. එතකොට සිකුරාදා උදේ 8ට සිද්ද වෙන දේ ඇයට දැනගන්න ලැබෙන්නෙ බ්‍රහස්පතින්දා උදේ 8ට. නමුත් මෙතනදී "ජනේලය ලඟ ඉන්න එපා" කියන අනතුරු ඇඟවීම ඇයට ඇත්තටම ලැබෙන්නේ බ්‍රහස්පතින්දා රෑ 8ට. සිකුරාදා රෑ 8ට ඇය කොහොමත් ඉන්නෙ පොළිස් කූඩුවේ. නමුත් බ්‍රහස්පතින්දා උදේ 8ට තමයි Finnව බේරගන්න නම් Jasperව මරන්න ඕනි කියන පණිවිඩය ඇයට ලැබෙන්නේ. මොකද ඇය ඒ පණිවිඩය ඇතුලත් කරේ උදේ 8 කාල රේඛාවට. ඊට පස්සෙනෙ දෙවෙනි අනතුරු ඇඟවීම ජනෙල් වීදුරුවෙ අලවන්නෙ "ජනේලයෙන් ඈත් වෙලා ඉන්න" කියලා.

එතකොට ඒ දෙවෙනි අනතුරු ඇඟවීම ඇතුළත් වෙන්නෙ රෑ 8 කාල රේඛාවට. කැමරාව ආපහු ක්‍රියාත්මක වෙන්නෙ රෑ 8ට නිසා. In that order, සිකුරාදාට සිදුවීමට නියමිත සිද්දිය ඇයට ලැබෙන්නෙ මෙහෙම. "Finnව බේරගන්න නම් Jasperව මරන්න(8am) හැබැයි ජනේලය ලඟ ඉඳලා අහුවෙන්න එපා(8pm).  බ්‍රහස්පතින්දා උදේම ඇය තීරණය කරල ඉවරයි සිකුරාදා උදේට Jasperව මරනවා කියලා. මොකද කාලන්තරයක් තිස්සෙ කරපු අත්හදා බැලීම් නිසා ඇය දන්නවා සිදුවීම් සිද්ද වෙන නිවැරදි අනුපිළිවෙල. එතකොට රෑ 8ට ලැබෙන පින්තූරයෙන් කියවෙන "Don't get caught at the Window" කියන පණිවිඩය බ්‍රහස්පතින්දා රෑ 8ට අනිත් අය දැක්කොත් මොකද වෙන්නෙ? මොකුත්ම වෙන්නෙ නෑ. මොකද රහස දන්නේ Callie විතරයි. ඇය ක්ෂණිකවම වටහගන්නවා හෙට එනම් සිකුරදට කරන්න ඕනි පිළිවෙල. ඉතින් ඇය සිකුරාදා උදේට Jasperව මරලා Finnට අසු නොවී ආපහු සැරයක් පෙර දිනයට පණිවිඩය යවනවා. ඒ අතරවාරයෙදිම Joeටත් අසු නොවී ඉන්නට වගබලා ගන්නවා. ඉතින් ඒ අනුව ඇය සිකුරාදා ඉන්නේ පොළිස් අත් අඩංගුවෙත් නෙවෙයි. ඒ නිසානේ ඇය නොබියව Joeට ඇතුලට එන්නට ඉඩ අරින්නෙත්.


**Unfortunate ending of the puppet master Callie


ඇත්තටම මේ කතන්දරේ සැබෑම ගැඹුර තිබුනේ කැමරාවෙන් පින්තූර 2ක් එලියට එක තුළ නෙවෙයි, Callieගේ ක්‍රියාකලාපය ඇතුලේ. තුන්කට්ටුවට අමතරව Plot එක ඇතුලෙ තවත් අමතර Twist එකක් මැවෙනවා Mr. B සහ Dr. Heidecker ආශ්‍රයෙනුත්. ඒ දේවලුත් පිළිවෙලකට ගොඩනැගෙන අතරෙදි නියමම Shock එක දෙන්නෙ Callie. ඇගේ චරිත විස්තරය ඇතුලෙදි නොකී කතාවන් විදිහට සියල්ල එළිදරව් වෙද්දි මෙතෙක් වෙලා නරඹපු Crime drama time travel භූමිකාවය හොඳ drama ගතියකුත් එකතු වෙලා. අන්තිම දර්ශනය නම් අති විශිෂ්ඨයි. හැමදාමත් කලා වගේ මේ පාර නම් Callieට ඉඩක් නෑ ආපහු අතීතෙට යන්න. ඇයි ඉතින් ජනෙල් වීදුරුවේ සටහන අලවද්දි එක සෙලෝටේප් පාරයිනෙ ගහන්න ලැබුනේ. Joeට සේරම අහු වුනානේ. ඒත් කෙල්ල බය නැතුව මද්දුම බණ්ඩාර වගේ ඉදිරිපත් වුනත් ආපහු පැනල දුවන්න සිද්ද වෙන්නෙ අර එක සෙලෝටේප් පටියෙන් විතරක්ම ඇලවුන අනතුරු ඇඟවීම ගැලවිලා වැටුන නිසා. හැබැයි කොහොමහරි බේරිලා යන්න ලැබුනනම් ශුවර් එකටම ආපහු පණිවිඩයක් තියයි කැමරාවට පේන්න "USE TWO PIECES OF TAPE" කියලා.


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.



ලක්ෂ්මන් අරංවල

0 comments:

Post a Comment