වෙන්වීමට අවශ්‍ය වූවත් වෙන් නොකරන ලංකාවේ දික්කසාද නීතිය






‘දෙවියන් විසින් එක්කළ දෑ මිනිසුන් විසින් වෙන් නොකළ යුතුය‘ යන්න පිළිගත්,  කතෝලික දහමේ ආභාෂය තුළ බිහිවන ඉංග්‍රිසි දික්කසාදය පිළිබද නීතිය, මෙරට දික්කසාදය පිළිබද නීතිය ගොඩනැගීම කෙරේ ද බලපැවැත්වීය. මෙරට අද පවත්නා ලිඛිත නීතින් රැසක මූලාරම්භය යටත්විජිත සම‍යේදී සිදුවන අතර විවාහ නීතිය ද එසේමය. දැනට විවාහ හා දික්කසාද සම්බන්ධයන් බලපවත්වන නීතිය වනුයේ 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතයි. (උඩරට හා මුස්ලිම් පිරිස් පිළිවෙලින් උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත හා මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත යටතේ පාලනය වේ. ඔවුන් හැරැණු විට සෙසු පිරිස් සඳහා පමණක් මෙය යෙදේ. මෙම ලිපියේදී මේ පිළිබදව පමණක් අවධානය යොමු කරයි. )



සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ සිදු කරන විවාහයක් ඒ පිළිබඳව නිසි අධිකරණ බලය සහිත අධිකරණයක් (දිසාධිකරණය) විසින් ලබා දෙන තීන්දුවක් මත පමණක් පිහිටා විසුරැවා හැරිය හැකිය. මේ සම්බන්ධ කාර් පටිපාටිමය නීතිය සිවිල් නඩු විධාන සංග්‍රහය තුළ 596 සිට 624 දක්වා වන වගන්තීන්හි ඇතුළත් වේ.


ආඥා පනත 19(2) යටතේ දක්වන මෙම දික්කසාද පදනම් නම්: විවාහයෙන් පසු අනාචාරය, ද්වේශ සහගත ලෙස හැරයාම හා විවාහ වන අවස්ථාවේදී වන සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය යි.


 මෙම පදනම් ත්‍රිත්වය සැලකීමේදී තෙවැන්න වෛද්‍ය සාක්ෂි මත තීරණය වන්නක් වන අතර මෙම සෑම අවස්ථාවකදීම දැකිය හැකි පොදු ලක්ෂණයක් නම් දෙපාර්ශවයෙන් කවර හෝ පාර්ශවයක වන වරදක් පෙන්වා දීමේ අවශ්‍යතාවයයි.



එනම් ‘වරද මත පදනම් වූ‘(Fault based) ක්‍රමවේදයක් අනුගමනය කරයි. විශේෂයෙන්ම ලංකාවේ පවතින එදිරිවාදි අධිකරණ සම්ප්‍රදාය හේතුවෙන් මෙවැනි ක්‍රමවේදයක් පැවතීම අවශ්‍ය වූවත් විවාහය වැනි මානුෂිය බැදීමක් කෙළවර විය යුත්තේ එක් පාර්ශවයකගේ වරදකින් පමණක්මද යන්න සිතා බැලිය යුත්තකි.


ලංකා නීතිය යටතේ දික්කසාදය ලබා ගැනීම සඳහා අයදුම් කිරීම යනුම යුද්ධයක ආරම්භයක්මය. විවාහ වන විටදී දෙපාර්ශවය අතර වූ ආදරය, සෙනෙහස දික්කසාදය ලබා ගන්නා විටදී එකිනෙකා අභිබවමින් අනෙකාගේ වරදක් ඔප්පු කරන යුද්ධයකට පෙරළි හමාරය. එය කෙළවර වනුයේ පෙරදී ආදරයෙන් වෙළුණු යුවළක් පසුව කිසිදිනක එකිනෙකාගේ මුහුණවත් නොබලන තැනට පත්කරමිනි. නමුත් එය සිදුවිය යුත්තක්ද? නීතිය තුළින් අපේක්ෂා කරන අවසන් ප්‍රතිඵලය එවැන්නක් විය යුතුද?


මෙවැනි දුර්වලතාවයන් හේතුවෙන්ම ලොව බොහෝමයක් රටවල් අද වන විට ‘වරද මත පදනම් වූ ක්‍රමවේදයෙන්‘ බැහැරට ගොස් ‘වරද මත පදනම් නොවූ ක්‍රමවේදයන්‘ (Non-fault based) අනුගමනය කරයි.
මෙහි සුවිශේෂි අවස්ථාවක් ලෙස දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාදය ලබා ගැනීමට වන හැකියාව පිළිගන්නා නීතින් ලොව පුරා බිහිව ඇත. එනම් දෙදෙනාගේ කැමැත්ත මත එකතු වුණිනම් වෙන්වීමේදී ද එය සළකා බැලේ. තවදුරටත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ නොහැකි බව වැටහෙන විටදී නැතහොත් ඔවුනොවුන් අතර වන අසමානතාවයන් සකසා ගැනීම අතිශය දුෂ්කර වන විටදී දෙපාර්ශවයේම කැමැත්ත මත එම විවාහය අවසන් කිරීමේ හැකියාව ඇත.


යුරෝපයේ පමණක් නොව ආසියානු රටවල් ආශ්‍රිතවද මෙසේ ‘වරද මත පදනම් නොවී දික්කසාදය ලබා ගැනීම දක්වා නීතිය සංවර්නය වී ඇත. මීට කදිම නිදසුන ලෙස අසල්වැසි ඉන්දියාව සැලකිය හැකිය. අනාචාරය, කෘරත්වය, ද්වේශ සහගත ලෙස හැරයාම, ආගම වෙනස්කිරීම වැනි වරද මත පදනම් වූ ක්‍රමයන්ට අමතරව සංශෝධන හරහා වරද මත පදනම් නොවු ක්‍රමයන් හඳුන්වා දී ඇත.


1955 Hindu Marriages Act වෙත ගෙනෙන සංශෝධනයක් මගින් 13(B) එකතු කරමින් දැක්වූයේ වසරක කාලයක් වෙන්ව සිටින විටදී දෙපාර්ශවයේ  කැමැත්ත මත විවාහය අවසන් කළ හැකි බවයි. සංශෝධිත 1954 Special Marriages Act යටතේ 28 වගන්තිය තුළද සංශෝධිත 1869 Divorce Act හි10(A) යටතේද මීට සමාන ප්‍රතිපාදන ඇතුළත් වේ. 2014 මැයි මසදී  විනිශ්චිත  Preeti Singh v Sandeep Singh තීරණය මෙසේ අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාදය ලබා දීම සම්බන්ධයෙන් විනිශ්චිත මෑත කාලීන ඉන්දීය අධිකරණ තීරණයක් ලෙස හැඳිනගත හැකිය.



යුරෝපා නීති පද්ධතීන් පිළිබදව අවධානය යොමු කිරීමේදී අප රටට නීතිය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යෙය්ද 1973 Matrimonial Causes Act යට ෙත්ද වරද මත පදනම් වූ ක්‍රමෙව්දයන්ට අමතරව යථා තත්වයට පත් කළ ෙනාහැකි ෙලසට විවාහය කඩාකප්පල් වීම යටෙත් දික්කසාදයක් ලබා ගත හැකිය.  ඒනම් වසරකට වඩා වැඩි කාලයක් දෙපාර්ශවය වෙන්ව සිටින විටදී ඔවුන්ෙග් ලිඛිත කැමැත්ත මත දික්කසාදයක් ලබා ගැනීම සඳහා යොමු විය හැකිය.


එසේම ප්‍රංශයේ 2005 ජනවාරි මස සිට බලපැවැත්වූ නව සිවිල් නීති සංග්‍රහය යටතේ අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාදය ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන හඳුන්වා දේ. එහිදි පසුව සිදු කළ සමීක්ෂණයන්ගෙන් එකතු කරගත් සංඛ්‍යාත්මක දත්තයන්ට අනූව වරද මත පදනම් වූ ක්‍රමයන් කරා යොමු වීම 40%ක පමණ අගයක් ගන්නා විටදී වරද මත පදනම් නොවූ ක්‍රමයන්හි භාවිතය 60%ක අගයක් ගෙන ඇත.


කෙසේනමුත් ලාංකීය දික්කසාද නීතිය පිළිබදව සැලකීමේදී අප තවමත් සිටිනුයේ මීට සියවසකට පමණ පෙර හඳුන්වා දුන් ඉංග්‍රිසී නීතියත් සමගය.
එහිදි අවධානයට යොමු විය යුතු අවස්ථාවක් ලෙස සිවිල් නඩු විධාන සංග්‍රහයට ගෙනෙන 1977 අංක 20 සංශෝධනය යටතේ එක්කරන 608(2)(b) වගන්තිය යි. එහිදි, පාර්ශවයන් වසර හතක කාල සීමාවක් වාසයෙන් හා සංවාසයෙන් වෙන්ව සිටියොත් එය දික්කසාදය ලබා ගැනීම සදහා වන ස්වාධීන පදනමක් ලෙස සැලකිය හැකිද යන්න විවාදයට භාජනය වීය. එසේ පිළිගතහොත් එය වරදක් ඔප්පු කිරීමෙන් බැහැරට ගිය ක්‍රමවේදයක් බවට පත් වේ.



මේ පිළිබදව 1984 වසරේදී විනිශ්චිත මුතුරාණි එ තුරෙයිසිංහම් නම් අභියාචනාධිකරණ තීරණයේදී තම්බයියා විනිසුරැ විසින් ඉදිරිපත් කළ බහුතර විනිසුරැ මතයේදී දැක්වූයේ මෙය පවත්නා සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය අවස්ථාවක් බවයි. එනම් මෙහිදී වගඋත්තරකරැ විසින් 1968 වසරේ සිට වසර 07ක කාලයක් සහවාසයෙන් වෙන්ව සිටීමේ පදනම මත සිට දික්කසාදය ලබා ගැනීම සඳහා නඩු පවරයි.


තම්බයියා විනිසුරැ ප්‍රකාශ කර සිටියේ සිවිල් නඩු විධාන සංග්‍රහය 608(1) යටතේ වන අධිකරණමය වෙන්වීමක් ලබා ගැනීමේදී වෛවාහක වරදක් පෙන්වා දීම අත්‍යවශ්‍ය වන අතර ඉන් වසර දෙකකට පසුව කුමන හෝ පාර්ශවයකට 608(2)(b) යටතේ ක්‍රියා කළ හැකි බවයි.


 නමුත් 608(2)(b) මගින් අරමුණු කරනුයේ වෛවාහක වරදක් ඔප්පු කිරීමකින් තොරවම යථා තත්වයට පත් කළ නොහැකි ලෙසට විවාහය කඩා කප්පල්වීම යන පදනම වන බවයි. එනම් වෛවාහක වරදක් ඔප්පු කිරීමෙන් බැහැර වන බවයි. එනිසා එය සිවිල් නඩු විධාන සංග්‍රහයේ වන 597(1)ල 608(1) හා 608(2)(b) යන අවස්ථාවන්ගෙන් වෙනස් වන බවයි.



කෙසේ නමුත් මෙම ප්‍රවේශය පසුව 1985 වසරේදී විනිශ්චිත තෙන්නකොන් එ තෙන්නකොන්  නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදී ශර්වානන්ද විනිසුරැ ප්‍රමුඛ බහුතර විනිසුරැ මතය විසින් අධිතීරණය කරයි. එහිදී අධිකරණය දැක්වුයේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ වන මෙම ප්‍රතිපාදනය අර්ථ නිරෑපණය කළ යුත්තේ 1907 සාමාන්‍ය විවාහ ආඥා පනතේ 19 වගන්තිය යටතේ දක්වන වෛවාහක වරදක් ඔප්පු කිරීමේ පදනම්වලට යටත්ව බවයි. ඒ අනූව 608(2)(b) යටතේ දක්වන ‘කුමන හෝ කලත්‍රයෙකුට‘ යන්න ‘අහිංසක කලත්‍රයා‘ වශයෙන් ගෙන අර්ථ නිරෑපණය කළ යුතු බවයි.



ඒ අනූව මෙහිදී අධිකරණය විසින් ඉදිරිපත් කළ ප්‍රධාන කරැණක් නම් මෙරට දික්කසාදයක් ලබා ගැනීම සදහා යෙදෙන පදනම් සම්බන්ධ නීතියේ වෙනස් කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ප්‍රථමව 1907 සාමාන්‍ය විවාහ ආඥා පනත ව්‍යවස්ථාදායකය විසින් සංශෝධනය කළ යුතු බවයි. ඒනම් හරයාත්මක නීතිය ෙවත ෙගෙනන සංෙශා්ධනයක් මත පමණක් කාර්යපටිපාටිමය නීතිය ෙවනස් කළ හැකි බවයි.



ලාංකීය විවාහ නීතිය සම්බන්යෙන් නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය මත 2007 වසරේදී නීති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන Draft Matrimonial Cause Act හි 3(1) යටතේ මෙම වෛවාහක වරද ඔප්පු කිරීම යන්නෙන් බැහැරට ගොස් යථා තත්වයට පත් කළ නොහැකි ලෙස විවාහය කඩා කප්පල් වීම යටතේ දික්කසාදයක් ලබා ගැනීමට යොමු වීමේ හැකියාව ලබා දී ඇත. කෙසේ නමුත් මෙය කෙටුම්පත් අවිධියේ පමණක් පවතින්නක් වන අතර තවමත් බලාත්මක වී නොමැත.


සමාජයේ මුලිකම ඒකකය වන ‘පවුල‘ විිධිමත් ලෙස ස්ථාපනය වීමේලා ‘විවාහය‘ යන්න අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකන අතර එනිසාම දික්කසාදයක් කරා යාම ප්‍රතික්ෂේප කරවන ආකාරයේ දැඩි පදනමක් නීතිය විසින්ද සපයා දී තිබේ.


ඉන්දීය දාර්ශනිකයෙකු වූ කෞටිල්‍ය විසින් ප්‍රකාශ කළ පරිදි සාර්ථක බිරිදක් නම් ඇය ඇගේ සැමියාට උදෑසනදී මවක් සේ සේවය කිරීමත් දිවා කාලයේදී සහෝදරියක් ලෙසට ආදරය කිරීමත් රාත්‍රි කාලයේදී ගණිකාවක සේ තම ස්වාමියාව සතුටු කිරීමත් කළ යුතු බවයි. ලාංකීය විවාහ සංස්ථාව ගොඩ නැගී ඇත්තේද මෙවැනිම වූ ආකල්පමය පදනමක් මත නොවේද? මෙවැනි ආගමික හා සංස්කෘතික පිළිගැනීම්හි බලපෑම  මෙසේ දෘඪ නීතියක් සම්පාදනය වීමටත් වඩා මේතාක් කල් එය  පවත්වාගෙන ඒමේ ලා ද හේතු වන්නට ඇත. නමුත් වත්මන් සමාජය දෙස බැලීමේදී දැකිය හැක්කේ කුමක්ද?



නුතන සමාජ විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනූව ලංකාවේ දික්කසාද වීමේ ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. එය එක් අතකින් ලංකාවේ පවත්නා සංස්කෘතිකමය පරිසරය තුළ දැවෙන සමාජ ගැටලුවක් ලෙසට පිරිසකට හඳුනාගත හැකිය.



එසේම එහි පවත්නා තවත් පැතිකඩක් නම් කාන්තාවගේ ජීවන තත්වයේ වන  ස්ථාවරත්වය නොවේද? පැරණි සමාජය තුළ ආර්ථිකමය වශයෙන් කාන්තාව තුළ වූ දුර්වලභාවය නිසාම පවුල් ජීවිතයේ වූ අනේකවිධ දුක් කම්කටොලු විඳ දරා ගනිමින් ඇය කෙසේ හෝ ජීවත්වූවා මිසක වෙන්ව යාමක් පිළිබදව නොසිතීය. නමුත් වත්මන් ලාංකීය කාන්තාව පිළිබදව සීතිමේදී මැවෙන ප්‍රතිරෑපය කුමක්ද යන්න මොහොතකට සිතා බලන්න.
ආර්ථිකමය වශයෙන් ඇය ශක්තිමත්ය. එසේම පෙරදී පියාට, තම සැමියාට හා පුත්‍රයන්ට යටත්ව සිටි ඇය අද වන විට දිනා දී ඇති කාන්තා අයිතීන් හමුවේ සවිබල ගැන්වී ඇත. එනම් ඇය සමාජය තුළ ස්වාධීන භූමිකාවක් නිරෑපණය කිරීමට සමත්ව ඇත. එවැනි තත්වයක් තුළ පෙරදී මෙන් තම පවුල් ජීවිතයේ වන දුක් කම්කටොලු නොව පවත්නා අසමානකම් හමුවේ වුවද වෙන්ව ගොස් ස්වාධීනව වාසය කිරීමට තරම් නූතන ලාංකීය කාන්තාවද ශක්තිමත්ය. නමුත් මින් වටහා ගත යුත්තේ කෞටිල්‍යෙගේ මතයට එකගව කාන්තාව ස්වාධීන වීම හෝ සවිබල ගැන්වීම පවුල් සංස්ථාව බිද වැටීමට හේතුවක් ලෙසට ගෙන පැරණි ක්‍රමයට යාම නොවේ.



අද වන විට දික්කසාදය ලබා නොගෙන නමුත් වෙන්ව ජීවත් වන පිරිස් කොතරම් නම් ඔබට එදිනෙදා ජීවිතයේදී හමුවී ඇතිද යන්න සිතා බලන්න. තම සහකරැගේ/සහකාරියගෙන් නීතිය යටතේ දක්වන වරදක් සිදුවන තුරැම ඔවුනට අධිකරණය හමුවට යාමට බලා සිටීමට සිදු වනු ඇත. එසේත් නැතහොත් නොකළ වරදක් නිර්මාණය කිරීමට සිදු වනු ඇත.  


මෙසේ වෙන්වෙමින් දික්කසාද වීම සදහා යොමුවීමේ ප්‍රවණතාවය ඉහළ යාමට මුල් වන හේතුන් විමසා බලන පරීක්ෂකයන් විසින් දක්වන ප්‍රධාන කරැණු කිහිපයක් නම් දෙපාර්ශවය අතර සන්නිවේදනයේදී වන දුර්වලතාවයන්, පවුල තුළ අන්‍යෝන්‍ය භූමිකාවන් හඳුනාගැනීමේ වන දුර්වලතාවයන් යනාදිය යි.



‘විවාහය‘ ආරක්ෂා කිරීම කළ යුත්තකි. එය අත්‍යවශ්‍ය වේ. නමුත් ආකල්පමය වෙනස්කම් කිරීම් හා මනා අවබෝධයක් ගොඩනැගීම වැනි සරල ක්‍රියාමාර්ග ඔස්සේ එය සිදු කිරීම වෙනුවට මෙසේ ඉතා දැඩි නීතින් පනවමින් මිනිසුන් බලෙන් එක්ව තැබී කොතෙක් නම් දුරට සාර්ථක වේද යන්න ඒ අනූව සිතා බැලීමට අප රටට ද කාලය පැමිණි ඇත.



පමෝදා මධුෂානි 
නීතිවේදී උපාධිධාරිනී 
කොළඹ විශ්ව විද්‍යාලය

0 comments:

Post a Comment