දියවැඩියාව වළක්වාගන්නේ කෙසේද?



දියවැඩියා රෝගය පිලිබදව පුර ලිපි තුනක් මගින් විවිධ කරුණු සාකච්චා කරනු ලැබුවා. සාරාංශයක් ලෙස ගත හොත්. දියවැඩියා රෝගය යනු කුමක්ද? එහි විවධ ආකාර, රෝග විනිශ්චය සහ විවිධ පරීක්ෂණ, අහාර හා ව්‍යායාම මගින් රෝගය පාලනය කරගන්න ආකාරය සාකච්චා කරනු ලැබුවා. ඉහත ලිපි මගින් ප්‍රධානවම අවධානය යොමු කරනු ලැබුවේ දියවැඩියා රෝගය සහ රෝගීන් ට වැදගත්වන කරුණු පිළිබඳවයි එනම් රෝග පාලනය කරගැනීම පිළිබඳවයි. මෙම අවසන් ලිපිය මගින් රෝගීන්ට පමණක් නොව නිරෝගී පුද්ගලයන්ට පවා වැදගත්වන කරුණක් සාකච්චා කරමු. එනම් රෝග වලක්වා ගැනීම පිළිබඳව. වෛද්‍ය විද්‍යාවේ සැමදාමත් ඉහලින් පිළිගනු ලබන කියමනක් තිබෙනවා,



Prevention is always better than Cure! - රෝග වලක්වා ගැනීම සුව කිරීමට වඩා සැම විටම උසස්ය!

රෝගයක් වැළදීමේ අපහසුව හොදින්ම අත්විදින්නේ රෝගියා සහ රෝගය සුව කිරීමට වගකීම ගන්නා වෛද්‍යවරයාය. දියවැඩියාව පමණක් නොව බොහෝ විට රෝගයක් වැලදෙන තුරු බොහොමයක් පුද්ගලයින් උනන්දුවක් නොදක්වයි. නමුත් සත්‍යය වන්නේ බොහොමයක් රෝග වැළදුණු පසු සුව කිරීමට වඩා රෝගය වැළදීමට පෙර වලක්වා ගැනීම ඉතාමත් පහසුය. දියවැඩියා රෝගයට අදාලව අපි මෙම කරුණ සාකච්චා කරමු.


පළමුවැනි ලිපියෙන් ඉදිරිපත් කල පරිදි දියවැඩියාව ප්‍රධාන අකාර ධෙකක් පවතී, Type I සහ Type II ලෙස. මයින් පළමුවන කාණ්ඩයේ දියවැඩියාවට බොහෝ විට ගොදුරු වන්නේ කුඩා ළමුන් වන අතර එය බොහෝ විට ජානමය හේතුන නිසා ඇතිවේ එම නිසා එම තත්ත්ව ඇතැම් විට වලක්වාගැනීම තරමක් අසීරුය. නමුත් සමාජයේ බහුලවම පවතින Type II දියවැඩියාව ජානමය හේතුන් මෙන්ම, අහාර, ශාරීරික ක්‍රියාකාරිත්වය, මානසික තාවය මෙන්ම ජිවන රටාවද ඍජුවම බලපාන බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. ජානමය හේතුන් අපට වෙනස් කිරීම අපහසු වුවත් එනම් සිතමු ඔබේ මවට හෝ පියාට, සහෝදර සහෝදරියකට දියවැඩියා රෝගය ඇත්නම් ඔබට එය වැළදීමට එවැනි දියවැඩියාවට ගොදුරු නොවූ ඥාතියෙක් නොසිටින පුද්ගලයෙකුට වැඩ තරමක් ඉහළ අවධානමක් පවතී. නමුත් පෙර සදහන් කල කරුණු එනම් ආහාර, ශාරීරික ක්‍රියාකාරිත්වය, මානසික තාවය මෙන්ම ජිවන රටාව ආදිය අපට පහසුවෙන් වෙනස් කල ගත හැකි සාධක වේ. එම කරුණු පිලිබදව වඩාත් සැලකිල්ලක් දැක වීමෙන් දියවැඩියා රෝගය වලක්වාගැනීම සාර්ථකව සිදුකර ගත හැක.


ආහාර 





ප්‍රථමයෙන් අප ආහාර පිලිබදව සලකා බලමු. ආහාර යනු දියවැඩියා රෝගය හා ඍජුව බැදුණු සාධකයක් බව අප කව්රුත් දන්නවා. වැරදි ආහාර පුරුදු මගින් දියවැඩියා රෝගය පමනක් නොව වෙනත් බොහෝ බෝ නොනවන රෝග ඇතිවීමේ අවදානම ඉහළ යනු ලබනවා. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, අධික තරබාරුව ඉන් කිහිපයක්. පසු ගිය ලිපියෙන් අප දියවැඩියා රෝගියෙකුට සුදුසු ආහාර පුරුදු පිළිබඳව සාකච්චා කරනු ලැබුවා. සැබවින්ම නම් එම ආහාර රටාව දියවැඩියා රෝගියෙකුට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට සුදුසුය. නමුත් එවන් ආහාර රටාවකට එකවරම හුරු වීමද ප්‍රයෝගිකව තරමක් අපහසුය. නමුත් හොද ආහාර රටාවක් මගින් ඔබ රෝගී වීමේ අවධානම ඉතාමත් අවම කර ගැනීමට හැකිවනවා. එසේ නම් ආහාර පිළිබඳව අප සැලකිය යුත්තේ කවර කරුණුද? සැබවින්ම නම් ආහාර වර්ගය, ප්‍රමාණය පමණක් නොව, ආහාර පිළියෙළ කරන ආකාරය, ආහාර ගන්න ආකාරය මෙන්ම ආහාර ගන්න වෙලාව පවා සැලකිය යුතුය.



ආහාර තෝරා ගැනීමේදී හැකි තාක් කෘතීම ආහාර වලින් බැහැරව ස්වභාවික ආහාර වෙත යොමු වීමට උත්සහ කරන්න. එනම් පාන්, බනිස්, කේක්, ආප්ප, ඉදියාප්ප, බර්ගර් වර්ග, අයිස් ක්‍රීම්, ක්ෂණික නුඩ්ල්ස් වැනි ආහාර වෙනුවට නිවසේදීම පිළියෙළ කරගත් බත්, එළවලු, මස් මාළු, පලා වර්ග ආහාරයට ගැනීමට පුරුදු වන්න. වර්තමානයේ ඉතාමත් කාර්යබහුල ජිවිත ගත කරන බොහොමයක් පුද්ගලයන්ට මෙය තරමක් අසීරු කරුණකි. නමුත් හැකි තාක් හොද ආහාර වේලකට යොමු වීම අපගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස හැදින්වීම නිවැරදිය. හැකි සැම විටම පලතුරු ආහාරයට ගැනීම, විවිධ රසකාරක අඩංගු කෘතීම බිම වර්ග වෙනුවට, කිරි, ස්වභාවික පලතුරු බිම වෙතට යොමු වීමට උත්සහ කරන්න. ටොෆී, චොකලට්, බිස්කට් වර්ග නිතර ආහාරයට ගැනීමෙන් වලකින්න.



අහාර පිසීමේදී අධිකව ලුණු, තෙල් සීනි භාවිතයෙන් වැලකීමද සුදුසුය, සැබවින්ම නම් වැඩුණු පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය තේ හැදී දෙකකට අඩුය, නමුත් ඔබම සිත බලන්න සමනය ලංකික පුද්ගලයින් බොහොමයක් මිට වැඩ ඉහළ පරිභෝජනයක් සිදු කරනවා. තවද ආහාරයට ලුණු එක් කිරීමේදී අහාර පිසීමට පෙර එක් කිරීමට වඩා අහාර ගැනීමේදී ලුණු යොදා ගන්නේ නම් බොහෝ විට පරිභෝජනය වන ලුණු ප්‍රමාණය අඩු වනවා පමණක් නොව ආහාර පිසීමේදී ලුණු වල අඩංගු අයඩින් ඉවත් වීමද අවම වනවා. තෙල් භාවිතයේදී සත්ත්ව තෙල් වෙනුවට ස්වභාවික ශාකම තෙල් භාවිතයට හුරු වන්න. කලින් ලිපියේ සඳහන් කල පරිදිම, ලාංකිකයන් වශයෙන් අපට පහසුවෙන්ම ලබා ගත හැකි සුදුසුම තෙල් වර්ගය වනුයේ පොල් තෙල් ය. අවශ්‍ය පමණට වැඩ ආහාර වලට තෙල් එක් නොකිරීමත් ආහාර බැදීම් සදහා තෙල් එක් වරක හෝ දෙවරකට වැඩ යොදා නොගැනීමත් වැදගත් වනවා. ආහාර බැදීමට වඩා නැවුම්ව හෝ තැම්බුම් ක්‍රම යොදා ගත හැකි නම් ඉතාමත් සුදුසුය. තවද මස් මළු වර්ග තෝරා ගැනීමේදී තෙල් අඩුවෙන් සහිත මස් වර්ග තෝරා ගැනීමත් වැදගත්, විශේෂයෙන් කුකුල් මස් නම් සම රහිතව තෝරා ගත යුතුය. මස් වර්ග වලටද වඩා මාළු වර්ග පෝෂණ ගුණයෙන් මෙන්ම ඔමේගා III වැනි හිතකර මේද සහිත බවද සොයාගෙන තිබෙනවා. තවද බත් වර්ග මෙන්ම කව්පි කඩල, මුන් අට, කව්පි වැනි ධාන්‍ය වර්ගද හැකි සැම විටම ආහාරයට එක් කර ගැනීමට සැලකිලිමත් වන්න. පිටි කිරි භාවිත කරනවානම් හැකි තාක් උකු බව අඩුවෙන් කිරි පිටි එක් කර ගැනීමට පුරුදු වන්න, එමෙන්ම මෝල්ට් සහිත පිටි වර්ග භාවිතයෙන් හැකි තාක් වැළකිය යුතුය කිරි පිටි වෙනුවට දියරමය කිරි වර්ග භාවිත කල හැකි නම් ඉතාමත් සුදුසුය.



ආහාර ගැනීමේදීද බොහෝ දෙනෙක් හුරුවී ඇත්තේ රුපවාහිනිය නරඹමින් අහාර ගැනීමටයි, නමුත් පරීක්ෂණ වලින් සොයා ගෙන ඇති ආකාරයට රුපවාහිනිය නරඹමින් අහාර ගන්න විට වැඩියෙන් ආහාර ගන්න බව සොයාගෙන තිබෙනවා. එම නිසා ආහාර ගැනීමේදී රුපවාහිනී නරබිමෙන් වැලකිමත් හැකි සැම විටම පවුලේ සියල්ලන්ම එක්ව ආහාර ගැනීම ඉතාමත් සුදුසුය. එමන්ම ආහාර ගන්න විට සුළු ප්‍රමාණ වලින් ආහාර ගැනීම සිදු කරන්න, තවද ආහාර නිසි පරිදි සැපීම මගින් ආහාර ජීරණය ක්‍රමවත් වනවා මෙන්ම, මොළය උත්තේජනය වීමෙන් වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමද වැළකෙනවා.



ව්‍යායාම.




වර්තමානයේ අප බොහෝ දෙනෙක් ගත කරන ඒකාකාරී ජිවන රටාව දියවැඩියා වැනි බෝ නොවන රෝග ව්‍යාප්තියට ප්‍රධානතම හේතුවක්. අතීතයේ මුතුන් මිත්තන් ගෙවූ ඉහළ ශාරීරික ක්‍රියාකාරිත්වයක් සහිත ජිවන රටාවෙන් අත්මිදී නාගරික ජිවන රටවකට රුරු වීම මෙයට ප්‍රධානතම හේතුවයි. ව්‍යායාම කිරීම යනු උදේ හවස දිවීම, ජිම් යාම ලෙස බොහෝ දෙනෙක් සිතනවා, නමුත් බොහෝ සරල ක්‍රියාකාරකම් මගින් අපට අවශ්‍ය ව්‍යායාම එදිනේදම ලබා ගත හැකිය. උදාහරණ ලෙස කෙටි දුරක් යාමට වහනයක්, යතුරු පැදියක් හෝ බසයක් භාවිතා කරනු වෙනුවට, පයින් යාම හෝ පාපැදි භාවිතය, විදුලි සෝපානය භාවිතය වෙනුවට තරප්පු පෙළ භාවිතය වැනි සරල ක්‍රියාකාරකම් මගින් ශාරීරික ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැක. පොදුවේ ගත කල සතියට දින 6ක් පමණ දිනකට විනාඩි 20ක් පමණ හොදින් දහදිය පිටවන ලෙස ව්‍යායාම කිරීම සුදුසුය.


ශරීර බර පාලනය.

ශරීරයේ බර පාලනය සැම අතකින්ම වැදගත් කරුණකි. සාමාන්යෙන් BMI අගය 18.5 – 23 අතර පවත්වා ගැනීම ඉතාමත් සුදුසුය. 23-28 දක්වා අධි බර ලෙසත්, 28 න් ඉහළ ස්ථුල ලෙසත් සලකනු ලබනවා, අනවශ්‍ය බර වැඩි වීම සැම විටම අනාගත රෝගී තත්ත්ව සදහා ඇත වැනීමකි. (BMI අගය ගණනය කරනු ලබන්නේ ශරීරයේ බර කිලෝ ග්රෑම් උස මීටර් වලින් මැන බර උසේ වර්ගයෙන් බෙදීමෙනි  නියමිත BMIඅගය පවත්වා ගැනීම අනාගත රෝගී තත්ත්ව වලක්වා ගැනීමට මනා පිටිවහලක් වනවා. ඔබගේ ශරීරයේ බර වැඩි නම් අහාර පාලනය සහ වයයම වලින් එය පාලනය කිරීමට උත්සහ ක හැකි. එසේ සිදු කිරීමට අපහසු නම් සුදුසු වෛද්‍යවරයෙක් හෝ පෝෂණ වේදියෙක් හමුවීම සුදුසුය.



නින්ද සහ යහපත් මානසික සෞඛ්‍යය.




ඕනෑම යන්ත්‍රයකට පවා විවේකයක් අවශ්‍ය වේ. යන්ත්‍රයක් වුවත් විවේකයකින් තොරව ක්‍රියාත්මක කළහොත් එහි අය කාලය එතමත් කෙටි වේ. මිනිස් සිරුරට ද එය එකසේ වලංගුය. ඔබ කෙතරම් කාර්යය බහුල වුවත් දිනකට අවම වශයෙන් එක දිගට පැය 6ක නින්දක් ලබා ගැනීම වැඩිහිටියෙකුට අනිවාර්ය වේ. එමෙන්ම නිදාගැනීමට දිනකට නිශ්චිත වෙලවක් තබා ගන්න. සැම දිනකම එකම වෙලාවට නින්දට යාමට මෙන්ම අවධි වීමටද හුරු වන්න. නිදා ගැනීමට පෙර ජංගම දුරකථන භාවිතය, තේ කෝපි වැනි පාන වර්ග භාවිත කිරීමෙන් වලකින්න.


මානසික සෞඛ්‍යය යනු අප බොහෝ දෙනෙක් එතරම් සැලකීමක් නොදක්වන කරුණකි. නමුත් වෛද්‍ය විද්යතමක්ව සොයා ගෙන ඇති පරිදි ඇතැම් විට රෝගයක් සදහා කායික හේතුන් මෙන්ම මානසික බලපෑමද ඉතාමත් වැදගත් වේ. වර්තමාන සමාජය දෙස බැලීමේදී බොහෝ දෙනෙක් ගත කරන ජිවන රටාව සැලකීමේදී ඉතාමත් මානසික ආතතිය පිරුණු තත්වයක් දැකගත හැක, තරගකාරිත්වය, අධික වැඩ ප්‍රමාණය, වැනි බොහෝ හේතුන් නිසා ඉතාමත් කළබල කාරී ජිවන රටාවකින් යුතු වීමද ශාරීරික සෞඛ්‍යය පිරිහිමට ප්‍රධානතම හේතුවක්. ගැටලුව වන්නේ අප වැඩ කරන ප්‍රමාණය නොව එය අප මනසට දැනෙන ආකාරයයි (මානසික රෝග සහ මානසික සෞඛ්‍යය පිළිබඳව අප ඉදිරි ලිපියකින් වැඩි දුරටත් සාකච්චා කරමු). එනම් අධික මානසික ආතතියෙන් තොර වීම, හැකි තාක් සතුටින් සිටීම, විවේකය, නින්ද සමාජ සහ පවුල් සම්බන්දතා යහපත්ව පවත්වා ගැනීම මෙන්ම ජය පරාජය හොදින් දර ගැනීම, වැනි කරුණුය. භාවනාව, යහපත් සංගීතය, විවේකය, නින්ද, යහපත් පුද්ගල සබදතා මගින් හොද මානසික සෞඛ්‍යයක් ඇතිකර ගැනීම මෙන්ම එමගින් යහපත් කායික සෞඛ්‍යයක් ඇති කර අගනිමද සිදු කර ගත හැක.



යහපත් ජිවන රටාව. 



ජිවන රටාව යනු අප එදිනෙදා ජිවත් වන ආකාරය ලෙස සරලව සදහන් කල හැක. එය අප ගනු ලබන ආහාරයේ සිට එදිනෙදා ක්‍රියාකාරිත්වය දක්වාම විහිදේ. එදිනෙදා ජීවිතය යහපත් ලෙස ගත කිරීම එයින් අදහස් වේ. ඉහත සදහන් කල අහාර පුරුදු, ව්‍යායාම, මානසික සෞඛ්‍යය රක ගැනීම මෙන්ම වැරදි පුරුදු වලින් මිදීමද වැදගත් ය. එනම් දුම් පානය, මත පැන් පානයෙන් වැලකීම, වෙනත් අහිතකර පුරුදු වලින් බැහැර වීම. රුපවාහිනිය, අන්තර්ජාලය වෙත අනවශ්‍ය ලෙස ඇබ්බැහි නොවීම, පරිගණක ක්‍රීඩා වෙනුවට එළිමහනේ ශාරීරික ක්‍රීඩා වල නියැලීම වැනි යහපත් පුරුදු  යහපත් ජිවන රටාවකට ඉවහල් වේ. හැකි සැම විටම කෘතීම නාගරික පරිසරයකට වඩා ස්වභාවික පරිසරයේ ගත කල හැකි නම් එය ඉතාමත් අගනේය.



ජානමය බලපෑම.




පෙර සදහන් කල පරිදිම  ඔබගේ මව, පියා, සහෝදර සහෝදරියන් වැනි කිට්ටු ඥාතීන්ට දියවැඩියාව වැලදී ඇත්නම් ඔබටද දියවැඩියාව වැළදීමට වැඩි අවධානමක් පැවතිය හැක. එවන් අයෙක් හැකි තාක් යහපත් ජිවන රටාවකට හුරු වීමෙන් එම අවධානම අවම කර ගත හැක.


ඉහත සදහන් කල පරිදි යහපත් ජිවන රටාවකට හුරු වීමෙන් දියවැඩියා රෝගය වැළදීම වලක්වා ගැනීම ඉතාමත් සාර්ථකව සිදු කල හැක. එමෙන්ම ඔබට දියවැඩියාව වැළදීමට අවධාම සාධක ඇත්නම් එනම් සිරුරේ අධික බර, පවුලේ කෙනෙකුට දියවැඩියා පැවතීම වැනි කරුණු, ඔබ වඩාත් ඔබගේ සෞඛ්‍යය තත්ත්වය් ගැන සැලකිලිමත් විය යුතුය. පෙර ලිපියක සදහන් කල පරිදි නිසි ලෙස දියවැඩියාව හදුනා ගැනීමේ පරීක්ෂණ වෙත යොමු විය යුතුය. අවධානම් සාධක පැවතියත් නැතත් වයස අවරුදු 50 පමණ පසු වූ අයෙක් නම් වසරකට වරක් වත් දියවැඩියාව හදුනා ගැනීම සදහා වන පරීක්ෂණයකට යොමු වීම වැදගත්ය, මක්නිසාදයත් අනාගතයේදී සැම පුද්ගලයන් 1/5 කටම දියවැඩියා රෝගියෙක් වීමේ අවදානමක් පවතී. තවද දියවැඩියා කිසිදු රෝග ලක්ෂණයකින් තොර නිධන් ගතව ඉතාම දීර්ග කාලයක් පැවතිය හැක, එසේ පාලනයකින් තොරව දියවැඩියාව පැවතීම අතුරු ආභාධ ඇති වීමේ අවධානම ඉහළ නංවයි. එබැවින් නිසි පරිදී පරීක්ෂණ වලට සහ වෛද්‍යවරුන් වෙත යොමු වීම ඉතාමත්ම වැදගත්ය.





මෙසේ සිතමු මුදල් තිබු පමණින්, හොද රැකියාවක් කල පමණින්, ඔබගේ ජීවිතය සාර්ථක යැයි සැලකිය හැකිද? මදක් සිතා බලන්න ඔබ ඔබගේ අධ්‍යාපනික, මුල්‍යමය, සමාජ මට්ටම වැනි ඉලක්ක වෙත කොපමණ ලගා වුවත් අවසානයේ ඔබ රෝගියෙක් නම්? එම කිසිදු සාර්ථකත්වයකින් ඵලක් වේද? බුදු දහමේ ඉගැන්වෙන පරිදිම “ආරෝග්‍යා පරමා ලාභා, සන්තුච්චිට පරමං ධනං” නිරෝගිකම පරම ලාභය මෙන්ම, සතුට පරම ධනය වේ. ජීවිතය තුල කුමන අරමුණු වෙත ඔබ ලගා වුවත් එය සතුටින් භුක්ති විදීමට නම් ඔබ නිරෝගී දිවියක හිමිකරුවෙක් විය යුතුය. ඉතින් ඔබ ඔබගේ යහපත් සෞඛ්‍යයක් ලගා කර ගැනීමද ඔබගේ දිවියේ ඉලක්කයක් විය යුතු නොවේද? ඉතින් ඔබ අනෙකුත් ඉලක්ක වෙත ඔබගේ දිවිය සැලසුම් කරන ආකාරයෙන් නිරෝගී සෞඛ්‍ය තත්වයක් උදාකර ගැනීමටද උනන්දු විය යුතුය. ඒ සදහා ගැලපෙන් යහපත් ජිවන රටවක්ද ඇති කර ගත යුතුය. පෙර සදහන් කල අහාර, ව්‍යායාම, මානසික සෞක්‍යය මෙන්ම යහපත් සමාජ සබදතා සැම විටම යහපත් සෞඛ්‍යයක් ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය වේ. එබැවින් යහපත් ජිවන රටවක් මගින් වැඩ සාර්ථක කායික මානසික සෞඛ්‍ය කින් හෙබි සාර්ථක පුද්ගලයෙක් වීමට ඔබත් උත්සහවන්ත වන්න.





කතුරු ඔන්චිල්ලාව තුලින් මෙතක් ඔබට දියවැඩියා රෝගය පිලිබදව ගෙන ආ ලිපි මාලාව මෙයින් අවසන් වන අතර. මීලග කලාපයෙන් මෙවන් කාලීනව හා සමාජීයව ඔබට වැදගත් වන වෛද්‍ය විද්‍යාත්මක ලිපි පෙලකින් නැවත හමු වෙමු. ඔබට දියවැඩියා රෝගය පිලිබදව යම් ගැටළුවක් හෝ වෙනැත කරුණක් දැන ගැනීමට අවශ්‍ය නම් එය පහත සදහන් කරන්න.


ඔබ සැමට නිරෝගී අනාගතයක්!!!




රවී අබේරත්න
වෛද්‍ය පීඨය
රාගම

0 comments:

Post a Comment