ලෝකය වටේ

                                                            මැක්‍රෝන් (getty)


පසුගිය සති දෙක තුළ ලෝක දේශපාලනයේ වැදගත් සිදුවීම් අතර වැදගත් සිදුවීම් කිහිපයක් වූයේ ප්‍රංශ ජනාධිපතිවරණය​, ඇමරිකාවේ FBI ආයතනයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධූරයෙන් පහ කිරීම සහ දකුණු කොරියානු ජනාධිපතිවරණය යි.


ප්‍රංශයේ ලාබාලම ජනාධිපති


ප්‍රංශ ජනාධිපතිවරණය වට දෙකකින් පවත්වනු ලබනවා. යම් අයුරකින් පළමු වටයේදී කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යන්නට නොහැකි වුවහොත් තමයි දෙවැනි වටයක් පවත්වන්නේ. දෙවැනි වටයේදි පළමු වටයෙන් පළවෙනි සහ දෙවැනි ස්ථාන දිනාගත් දෙදෙනා පමණයි තරඟ වදින්නේ.


මෙවර ජනාධිපතිවරණයේ පළමු වටය අප්‍රේල් 23 වනදා පවත්වනු ලැබුණා. මෙහිදී මධ්‍යස්ථ මතදාරී එමානුවෙල් මැක්‍රොන් සියයට 24 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර ජාතික පෙරමුණේ මාරීන් ලෙ පෙන් සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයල් ලබා ගත්තා. මෙම දෙදෙනාම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට අයත් නොවීම මෙහිදී සැළකිය යුතු කරුණක් වුණා. රිපබ්ලිකන් පක්ෂයේ ෆ්‍රංශුවා ෆියොන් තුන්වන ස්ථානය ලබා ගනිද්දී සමාජවාදී පක් ෂයේ බෙනෝයි හැමෝන් පස්වන ස්ථානයට පසු බසිනු දකින්නට ලැබුණා.


මැයි මාසයේ 7 වනදා පවත්වන ලද දෙවන වටයේ ඡන්ද විමසීමේදී මැක්‍රොන් සියයට 66.1 ක ඡන් ද ප්‍රමාණයක් ලබාගත් අතර ලෙ පෙන් සියයට 33.9 ක් පමණක් ලබා ගත්තා. ප්‍රංශයේ ප්‍රධාන පක්ෂ කිහිපය මැක්‍රොන්ට සහය දැක්වූයේ අන්ත දක්ෂිනාංශික ලෙ පෙන්ට සහය දැක්වීමට ඔවුන් සූදානම් නොවූ හෙයින්.


එමානුවෙල් මැක්‍රොන් මැයි 14 වනදා ප්‍රංශයේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ප්‍රංශ ජනතාව තුළ බලාපොරොත්තුව සහ විශ්වාසය ගොඩ නැංවීමට තමා බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර සිටියා. වයස 39 ක් වන මැක්‍රොන් එරට ජනාධිපති ධූරයට පත් ලාබාලම තැනැත්තා වනවා.



දකුණු කොරියානු ජනාධිපතිවරණය​


දකුණු කොරියාවේ ජනාධිපතිවරණය මැයි මස 9 වනදා පවත්වනු ලැබුණා. මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2017 දෙසැම්බරයේදී වුවද හිටපු ජනාධිපතිණි පාර්ක් ගුන්-හේ සිය ධූරයෙන් ඉවත් කිරීම නිසා කළින් ම මැතිවරණය පවත්වන්නට සිදු වුණා. මෙහිදී ලිබරල්වාදියකු ලෙස සැළකෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මූන් ජේ-ඉන් ජයග්‍රහණය කළා.


පාර්ක් ගුන්-හේට දූෂණ චෝදනා එල්ල වූයේ පසුගිය වසර අවසන් කාළයේදී. ඇයට එරෙහිව ජනතාව ලක්ෂ ගණනින් වීථි බැස්සා. දෙසැම්බරයේදී පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකක ඡන්දයකින් ඇගේ ධූරයෙන් ඇය ඉවත් කිරීමට අනුමැතිය දුන්නා. ඉන් පසු එම දෝෂාභියෝගය පිළිබඳ නඩු කටයුත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු වූ අතර මෙම වසරේ මාර්තු 10 වනදා එම අධිකරණය පාර්ක් ගුන්-හේ ඉවත් කිරීමේ තීරණය ඒකමතිකව අනුමත කළා.



දකුණු කොරියානු නීතිය අනුව මෙසේ ජනාධිපතිවරයකු ඉවත් කළහොත් දින 60 ක් තුළ ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මැයි 9 වනදා එම මැතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවයි.


මෙම මැතිවරණයට අපේක්ෂකයන් පස් දෙනකු ඉදිරිපත් වුණා. ඒ අතර 2012 ජනාධිපතිවරණයේදී පාර්ක් ගුන්-හේ අතින් පරාජය වූ මූන් ජේ-ඉන් මුල සිටම ඉදිරියෙන් සිටියා. අනෙක් අපේක්ෂකයන් වූයේ ලිබර්ට් කොරියා පක්ෂයේ හොන් ග් ජුන්-ප්‍යෝ, ජනතා පක්ෂයේ ආන් චොල්-සූ, නරෙයුන් පක්ෂයේ යූ සෙවුන් ග්-මින් සහ එකම කාන්තා අපේක්ෂකයා වූ යුක්තිය පක්ෂයේ සිම් සෑන්ග්-ජුන්.


ප්‍රංශ ජනාධිපතිවරණයේ මෙන් නොව දකුණු කොරියාවේදී ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන් ද ප්‍රමාණය ලබාගත් අපේක්ෂකයා ජනාධිපති ලෙස තෝරා ගැනෙනවා. එහිදී ඔහුගේ ඡන්ද ප්‍රතිශතය වැදගත් වන්නේ නැහැ. මෙම ජනාධිපතිවරණයේදී මූන් ජේ-ඉන් සියයට 42.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.


මූන් ජේ-ඉන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ වන මිත්‍රත්වය තව දුරටත් ස්ථාවර විය යුතුය යනුවෙන් කියා සිටියද ඔහු සහ ඇමරිකාව අතර නොගැලපීම් තිබෙනවා. උතුරු කොරියාව සමඟ සමථයක් ඇති කරගැනීම සඳහා වඩා සංයමයෙන් කටයුතු කළ යුතු බව මූන් පවසන අතර අවශ්‍ය නම් උතුරු කොරියානු අගනුවරට සංචාරය කොට එහි නායකයන් හමු වීමට වුවද තමන් සූදානම් බව ඔහු කියා සිටියා.


ජේම්ස් කොමේ සහ ට්‍රම්ප්


ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි මස 9 වනදා එරට ෆෙඩරල් රහස් පරීක්ෂක කාර්යාංශයේ හෙවත් FBI ආයතනයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධූරයෙන් ඉවත් කළා.


ට්‍රම්ප් පාලනය පවසා සිටියේ මෙම තීරණයට හේතුව කොමේ හිලරි ක්ලින්ටන් ගේ ඊමේල් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණය හරි ආකාරව සිදු නොකිරීම බවයි. නමුත් ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් සඳහන් කරන්නේ පසුගිය වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව ඇඟිලි ගැසීම පිළිබඳ පරීක්ෂණය යට ගැසීමට ට්‍රම්ප් මෙය සිදු කළ බවයි.


ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් මෙය වලංගු කාරණයක් බව ඇතැමුන් කියා සිටියා.

කෙසේ වෙතත් ක්ලින්ටන් ගේ ඊමේල් පණිවිඩ පිළිබඳ පරීක්ෂණයට අදාළ සත්‍ය කරුණු සමහරක් කොමේ විසින් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර නැති බව ද මෑතකදී හෙළි වුණා.


කොමේ FBI ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත් කරනු ලැබුණේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් 2013 දීය.






චාමර සුමනපාල 

0 comments:

Post a Comment