බාහුබලී ගොඩගියේ CGI නිසාද?




කොලිවුඩය, බොලිවුඩය අතික්‍රමණය කරමින් හොලිවුඩය පවා දෙදරවූ ටොලිවුඩයේ මහා වීර කාව්‍යය, බාහුබලීගේ දෙවන ආගමනය...



තෙළිඟු පුරවරයෙන් ලොවට පිදෙන ප්‍රථම 4K High Definition format ඉන්දියානු චිත්‍රපටය විදිහට, බාහුබලී ගොඩ ගියේ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග භාවිතාය ආශ්‍රයෙන් සිනමා තිරය මත ගොඩනංවන්නට සමත් වූ අතිශය දැවැන්ත බව පමණක්ම නිසාද? දවස් තුනෙන් කෝටි 5ක් උපයාගත් රහස නිර්මාණයේ සුවිසල් බව පමණක්මද? ඒ ගැනත් කතා කරමු.





අධ්‍යක්ෂක SS Rajamouli විසින් මෙහි මුල් කොටස, එනම් Baahubali: The Beginning ගැන අදහස මුල් වරට ක්‍රියාවට නංවද්දී ඔහුගේ අරමුණ වුනේ ජාත්‍යන්තරය ජයගන්න එක. ඉන්දියාවෙන් එපිටට විහිදුන ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබා ගැනීමට ඔහු අදහස් කරා. ඒ වගේම එය අතිසාර්ථක වුනා. ඒ වගේම ඉන්දියාව තුලදීත් සියලුම භාෂාවන් සහ සංස්කෘතීන් වශයෙන් බෙදී සිටි සියල්ලන්ම එකවර මේ වීර කාව්‍යය රසවින්දා. දෙවන කොටස වෙනුවෙන් අතිමහත් උද්යෝගයකින් නොඉවසිල්ලකින් මඟ බලන් සිටියා. ලංකාවේ තත්ත්වයත් ඊට නොදෙවෙනි වුනේ නැහැ. චිත්‍රපටයක මුල් කොටසකින් පිරිනමන්නට හැකි Remarkableම climax එකක් තමයි මුල් කොටසින් දකින්න ලැබුනේ. මුල්ම වරට සිනමාශාලාවක නරඹන සෑම ප්‍රේක්ෂකයෙක්ම අන්දමන්ද කරවන්නට සමත් වුනා. එතනදි බලපෑවේ Storytelling රටාවෙහි පැවති නිර්මාණශීලීත්වය මිසක් CGI (computer-generated imagery/චිත්‍රපට සඳහා භාවිතා කරන පරිඝණක දෘශ්‍ය ප්‍රයෝග) වල ආකර්ශනයම නොවේ...


ඇත්තම කිවුවොත් Plot එක ඇතුලේ "අලුත්ම" දෙයක් තිබුනේ නැහැ. විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයින්ට. ආක්‍රමණයකට ලක් වන රාජධානියක්. පාලනය කරන්නේ එහි සැබෑ උරුමක්කාරයා නොවෙයි. ඊර්ෂ්‍යාකාර සොහොයුරා. වසර ගණනාවකට පස්සේ සිද්ද වන සැබෑ උරුමක්කාරයාගේ ආගමනය. අම්ම කෙනෙක්ගේ නොසැලෙන අධිෂ්ඨානය සහ බලාපොරොත්තු. කාලෙකට කලින් සිද්ද වුන දරුණු ඛේදවාචකයක්. සිදු කළ යුතුම පළිගැනීමක් සහ ජනතාවගේ වීරයෙක් බිහිවීම යනාදී වශයෙන් මේ සෑම කාරණයක්ම හුරුපුරුදු දේවල්. වෙනසකට තිබුනේ මේ සෑම සංසිද්දියක්ම ඉදිරිපත් කර තිබුනු දැවැන්ත ස්වරූපාත්මක බව. නමුත් ඊටත් වඩා කැපී පෙනෙන්නේ නිර්මාණකරුවා විසින් කතන්දරය ගෙතීමෙහි සහ පැවැසීමේදී දක්වනු ලැබූ හුරුබුහුටි බව. බාහිර අලංකරනයන් දෘශ්‍ය ප්‍රයෝග මඟින් වර්ණවත් කරවන අතරතුරදීම බොහොම සැළකිල්ලෙන් තෝරාගත් රංගන ශිල්පීන්ගේ චරිත විස්තරයන් තුලින් ඔහු මේ මායා සිදු කළා.


ඔබට මුල් කොටස මතක නම් Rajamouli විසින් Interval block එක වෙනකන්ම Baahubali කියන වීරයාව ඉදිරිපත් කලේ නැහැ. එතෙක්ම අපි දැක්කේ Shivaව විතරයි. දැවැන්ත Statue-lifting දර්ශනය තුළදී ඔබට මතක ඇති සියල්ලන්ම මහත් භක්තියකින් Shivaගෙ පියා වන Amarendra Baahubaliගෙ නම මන්ත්‍රයක් වගේ ජප කරපු හැටි. ඒ මොහොතේ ඉඳන් ප්‍රේක්ෂක අපත් Baahubali කියන අමරණීය නාමය ගැන කුතුහලයකින් යුතුව විමසන්නට පටන් ගන්නවා. බර අදින මිනිසුන් තුල හදිසියේ හටගත් වෙනසින් උපදින ගැම්මෙන් ප්‍රේක්ශක අපත් නිතැතින්ම කුල්මත් වුනා මතක ඇති. Mahishmati රාජධානියේ පහළ වූ මේ යුග පුරුෂයා කවුරුන්ද, Shiva ට ඔහුගේ තිබුනු සම්බන්ධය මොකක්ද? මේ කාරණය මතු වෙන්නේ චිත්‍රපටයේ විවේක කාලයේදී. එතකොට චිත්‍රපටය අවසනදී සියල්ල පිළිතුරු ලැබෙනවා. Shiva කියන්නේ Mahishmatiහි ඔටුනු පළන් සැබෑ චක්‍රවර්තී රජු Amarendra Baahubaliගේ පුතු හෙවත් රාජධානියේ සිහසුනේ සැබෑ උරුමක්කරු වන Mahendra Baahubali බවත් අනාවරණය කෙරෙනවා. නමුත් චිත්‍රපටයේ අවසානය තමයි CGI පැරදවූ storytelling රටාවෙහි උපරිමය වුනේ.



"Kattappa ඇයි Baahubaliව මැරුවේ???"




චිත්‍රපටය Release වෙලා අවුරුදු 2ක් ගතවෙනකන්ම හැමෝගෙම හිත්වල හොල්මන් කරපු මේ ආන්දෝලනාත්මක ගැටළුවට පිළිතුරු අරන් තමයි The Beginningහි දෙවැන්න The Conclusion කරළියට එන්නේ. මුල් චිත්‍රපටයෙන් උත්පාදනය කරපු අධික කුතුහලය නිසාමයි දෙවැන්න නැරඹීමට ලොව පුරාම අතිමහත් ප්‍රේක්ෂක පිරිසක් නොඉවසිල්ලෙන් සැදීපැහැදී සිටියේ. සිනමා කර්මාන්තයක් තුළ මෙතෙක් පිහිටුවනු ලැබූ ආදායම් වාර්ථාවන් එකින් එක සුනු විසුනු කරමින් රජ ගමනක යන්නට නිර්මාණයට හැකි වුනෙත් අර භාවිතා කරල තිබ්බ CGI හින්දා නෙවෙයි, නිර්මාණකරුවගේ ඉදිරිපත් කිරීම් රටාව නිසා බව දැන් පැහැදිලියි.



දෙවන කොටසට ආරම්භය ලැබෙන්නේ පළමු කොටස ගැන අපුරූ ආවර්ජනයක් ලැබෙන පින්තූර පෙළකින්. වසර දෙකකට පෙරදී නරඹනු ලද්දක් වුවත් ඒ මතකයන් තවමත් නැවුම් බව ඒ Open credits දර්ශනයෙන් ගම්‍ය වී තිබුනා. නුදුරේදී පැවැත්වීමට නියමිත රාජාභිෂේකයට පෙර දේෂාටන චාරිකාවක නියැලීම සඳහා රාජධානියෙන් අප්‍රකටව බැහැර යන  Amarendra Baahubali සමඟින් Kattappaa ඉන් අනතුරුව නතර වෙන්නේ Kunthala දේශයේ. මෙතනින් එහාට තමයි වර්ථමාන තත්ත්වයට වනතෙක් සිද්ද වූ සෑම දේකම ආරම්භය සනිටුහන් වෙන්නේ. මුල් කොටසේදී Shivaට Avantikaව අහම්බෙන් දකින්නට ලැබීමෙන් හටගත් ප්‍රේම රෝගය මෙතනදී ඔහුගේ පියාටත් වැළදෙන ආකාරය බොහොම සුන්දර රටාවකින් ඉදිරිපත් කරල තිබුනා. ඔබට මතක නම් Avanthikaව, ඇය සැඩ පරුශයි, රණකාමීයි, නොහික්මුන සුළුයි වගේම සුන්දරයි. ප්‍රේක්ශක අවධානය බොහෝ සෙයින් ලබා ගන්නට සමත් වන්නියක්. මෙතනදි හමුවන Devasena කුමරියත් ඒ හා සමයි. හැබැයි රාජකීයත්වයෙන් යුතු පෞරුෂයකින් ඇය අභිමානවත්ව ඉහළයි. දඟකාර Shivaගේ කපාපු පළුවක් වගේ අපිට Avanthikaව දැකගන්නට ලැබුනා වගේම, චක්‍රවර්තී රණශූරයෙක් වන Baahubali වැන්නෙක්ට හැම අතින්ම සුදුසු රණශූර කුමරියකගේ ප්‍රතිභාව අපිට Devasenaගෙන් දකින්නට පුළුවන්.





Kattappa character එකට මේ පාර විශේෂිත වූ අවධානයක් යොමු වෙනවා. බොහෝ වෙලාවට අපට සිද්ද වෙනවා Baahubaliටත් වඩා Kattappaගේ හැසිරීම් රටාව දිහා ඇහැ ගහගෙනම ඉන්න. "ඇයි Kattappa, Baahubali ව මැරුවේ?" මේ උභතෝකෝටික ගැටළුවට පිළිතුර හොයන එකනේ අපේ අරමුණ. නමුත් සෑම දර්ශනයකින්ම දකින්න ලැබෙන්නෙ තම ස්වාමියාට සෑම අතින්ම යටහත් පහත් වූ සේවකයෙක්ව. මිත්‍රයෙක්ව. පියෙක්ව. ගුරුවරයෙක්ව. ඉතින් කොහොමද එවැනි කෙනෙක්ට අර තරම් සාහසික දෙයක් කරන්නට හැකි වුනේ කියන කුතුහලය නිතැතින්ම නරඹනාගේ මනස තුළ හොල්මන් කරනවා. ඒ වගේම මුල් කොටසින් අපිට දකින්නට ලැබුනේ බොහොම Serious Kattappa කෙනෙක්ව. මෙතනදී චරිත විස්තරය තුළට බොහෝ දේ එක් කොට තිබුනා විනිවිද බවකින් යුක්ත වන ආකාරයකට. ප්‍රශ්නයට පිළිතුර ලැබෙන අවස්ථාව සහ සියල්ල සැලසුම් වන ආකාරය වෙනුවෙන් බොහොම සංවේදී රංගන වින්‍යාසයක්ද ඇතුළත් වී තිබුනා. සියල්ල මැනවින් "ලියවෙලා" තිබුනා සෑම ප්‍රේක්ෂකයෙක් තුළම දැඩි කම්පනයක් ඇති වන පරිදි. එතකොට ඒ දේවලට බලපෑවෙත් CGI තාක්ෂනය නොවෙයි.




කතා කල යුතුම අනිත් දැවැන්තම චරිත විස්තරය වෙන්නේ Sivagami හෙවත් මහරැජිනගේ භූමිකාව. මුල් කොටස තුලදිත් දෙවැන්නෙදීත් ඇගේ බලපරාක්‍රමය කතන්දරයේ Turning points හැම එකකටම වගේ බලපෑවා. මෙතනදී එහි උච්ඡතම අවස්ථාව. විශේෂයෙන්ම ඇය විසින් Amarendra Baahubaliගේ අළුත උපන් සිඟිති පුතු Mahendra Baahubali ලෙසින් සිහසුනේ සැබෑ එකම උරුමක්කරු ලෙස නම් කරන අවස්ථාව වඩාත්ම කැපී පෙනුනා. ඇගේ ඉරණම මුල් කොටස ආරම්භයේදීම අපට දැකගන්නට ලැබුනා. එතනට එන තෙක් ඇගේ ජීවන ප්‍රවෘත්තියත් විස්තරාත්මකව දෙවැන්නෙහි ඇතුලත්. කතන්දරයෙහි තීව්‍ර බව වැඩි කරන්නට ඇයගෙන් ලැබුනු දායකත්වයත් CGI වලට වඩා ඉතා ඉහළයි.



Rajamaouli වරක් මාධ්‍යයට පවසා තිබුනා මේ සෑම දෙයක්ම "කරනට හැකිවුනේ" රංගන ශිල්පී Prabhas නිසා බව. මුලු චිත්‍රපටයම තිබුනේ ඔහුගේ උර මත. චිත්‍රපටයකින් මෙතෙක් දුටු නිවැරදිම රාජකීය සෙයියාව දැක්කෙ ඔහුගෙන්. චක්‍රවර්තී රාජ පෞරුෂය, රණකාමීත්වය, පුතෙකුගේ, පියෙකුගේ, ප්‍රේමවන්තයෙකුගේ, සැමියෙකුගේ ලෙංගතු බව යනාදී වශයෙන් සෑම දෙයක්ම ඔහුගේ චරිත විස්තරයට ඇතුලත් වගේම මැනවින් ඉදිරිපත් කර තිබුනා. අතිශයින්ම දැවැන්ත චිත්‍රපටය සැබෑ ලෙසින්ම දැවැන්ත එකක් බවට පත් කලේ Prabhas නම් රංගන ශිල්පියා නිසාම මිසක් සියල්ලCGI  මත යැපුන නිසා නොවේ.


විශේෂයෙන්ම ඔහු සතුව පැවති රාජකීයත්වය තදින්ම දැනවෙන්නේ  Interval-block එකේදී එනම් රාජාභිශේකයේදී. මුලු චිත්‍රපටයෙහිම දැවැන්ත බවත් මේ දර්ශනයෙන් නිරූපණය කරල තිබුනා. සිනමා ශාලාව දෙදරා යන තරමටම බලවත් වූ මෙවැනි දර්ශනයක් වෙනත් කිසිදු චිත්‍රපටයකින් නොදුටු එකක් බවත් ඔබට හැඟේවි. "Baahubali ගොඩගියේ CGI  නිසාම නොවන බව එක හඬින් පසක් කරවූ මේ එකම දර්ශනය නිසාම, චිත්‍රපටය තව වරක් නැරඹුවට පාඩු නැහැ කියලත් හිතෙන තරමටම ආකර්ශනීයයි.






චිත්‍රපටයේ දැවැන්ත බවට බලපෑ තවත් කිහිපයක් තිබෙනවා.


*Mahishmati රාජධානියත්, Kuntala පුරවරයත් ඇතුලු සියලුම පසුතල සැකසුම් වල නිර්මාතෘ Sabu Cyril.

*විශේෂ ගෞරවයක් හිමි විය යුතු අසහාය රූපකරණය වෙනුවෙන් Senthil Kumar.

*මුලු චිත්‍රපටයෙහිම ජීවය එක මිටකට රඳවා තබා ගනිමින් ප්‍රාණවත් කළ සංගීතය වෙනුවෙන් MM Keeravani.

දැන් අපට පුලුවන් CGI ගැන කතා කරන්නට. චිත්‍රපට ද්විත්වය සඳහාම 4,500ක් පමණ වූ visual effect scenes සහ computer graphics භාවිත කර තිබෙනවා. මේ සඳහා දකුණු කොරියාව, චීනය සහ ඉන්දියාව පුරාමත් වූ Studios 17කදී, නිර්මාණකරුවන් 600කගේ දායකත්වය මේ සඳහා ලැබී තිබුනා. ඉන්දීය චිත්‍රපටයක මෙවැන්නක් සිදු වූ ප්‍රථම වතාව. නමුත් Action sequences වලදී බොහෝ තැන්වලදී සමහර විශේෂ ප්‍රයෝගයන් පාලනයකින් තොරවූ බවකුත් දකින්නට ලැබෙනවා. Live action එකක් විදිහට සමහර කොටස් CGI නිසාම unrealistic වුනාද කියලත් හිතෙනවා. නමුත් සමස්තයක් විදිහට සියල්ල පාලනය වෙන්නේ දෘශ්‍ය ප්‍රයෝග නිසාම නම් නෙවෙයි. මුලින් සඳහන් කළ සෑම කාරණයකින්ම ඒ බව තහවුරුයි.


VFX වලට වඩා නිර්මාතෘ Rajamouli විසින් සමස්ථ Baahubali journey එක පුරාම Storyteller විදිහට විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කළා කියන එක පිළිගත යුතුම කාරනයක්. Beginningහිදි Sivagami විසින් බිළිඳු Magendra Baahubaliව සැඩ ජල පහරට ඉහළින් ඔසවා තබාගෙන ආරක්ෂා කරන දර්ශනයේ සිට, Conclusionහි අවසන් සටනේ අවසන් මොහොතේදී Bhalla Deva සහ Baahubali අතර සිදු වන Epic face-off දර්ශනය දක්වා වූ සෑම දෙයක්ම අධ්‍යක්ෂක SS Rajamouli momentsවල තීව්‍රතාවයන්ම තමයි.


ඉතින් තවමත් ලොව වටා නොනවතින රජ ගමනක යන "බාහුබලී ගොඩගියේ CGI නිසාද?" කියන එක තීරණය කිරීම ඔබට භාරයි.







ලක්ෂ්මන් අරංවල

1 comments:

  1. කොහොමද ඉන්ටර්වල් සීන් එක. ඒ වගේ එකක් කවදාවත් දැකල නෑ

    ReplyDelete